දිට්වා හදිසි ආපදා තත්වයන්ට මුහුණ දුන් පවුල් සදහා නිවාස ලබාදීමේ වැඩසටහන යටතේ ප්‍රමුඛතාවය ලබාදෙමින් යුද සමයේ සෙන්චෝලේ ඛේදවාචකයට මුහුණ දුන් පුද්ගලයින් 18 දෙනෙකුට සහ අතුරුදහන්වූවන්ගේ පවුල් 3 ක් වෙනුවෙන් නිවාස ඉදි කර ගැනීමට රුපියල් ලක්ෂ 50ක මුදලක් සහ අක්කර භාගයක ඉඩමක් ලබාදීමට රජය කටයුතු කර තිබෙනවා.
ඒ අනුව, එම පවුල්වලට නිවාස ඉදි කර ගැනීමට අවශ්‍ය රජය විසින් ලබා දෙන රුපියල් ලක්ෂ 50 ක මුදලින් මුලික අදියර යටතේ මුදල් ලබාදීමට අදාළ චෙක්පත් පිරිනැමීම අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ හර්ෂණ නානායක්කාරගේ ප්‍රධානත්වයෙන් කිලිනොච්චිය පරන්තන් නගරය, පරන්තන් ග්‍රාම සංවර්ධන සමිති ශාලාවේ දී අද (25) පෙරවරුවේ සිදුවුණා.
ඒ වෙනුවෙන් පැවති උත්සවය අමතමින් අධිකරණ අමාත්‍යතුමා මෙම අදහස් පළ කළා.
එහිදී අදහස් පළ කළ අමාත්‍යතුමා මෙසේ ද සදහන් කළා,
සෙන්චෝලේ සිද්ධියට මුහුණ දුන් දරුවන් අද වන විට වැඩිහිටියන් බවට පත් වෙලා. ඒ අය හමුවීමට ලැබීම පිළිබදව සතුටු වෙනවා. යුද්ධයේ ජයග්‍රාහකයෙක් නැහැ. දෙපාර්ශ්වයම පරාජයට පත් වෙනවා. යුද්ධයෙන් ඉතිරි වන්නේ කණගාටුදායක කටුක අත්දැකීම් පමණයි. යුද්ධයෙන් විනාශ වු ගොඩනැගිලි ඉදි කිරීමට වඩා වැඩි කාලයක් ඒ හේතුවෙන් කැඩි බිදී ගිය සිත් හදන්න යනවා. ජාතීන් අතර මිත්‍රත්වය ගොඩනැගීම වචනයට පමණක් සීමා නොවිය යුතුයි. මීට වසර දෙකකට පෙර උතුරේ ජනතාව අපේ රජයට මිත්‍රත්වයේ දෑත් දිගු කළා. අපිට උතුර දකුණ යනුවෙන් භේදයක් නැහැ. අතුරුදහන් වු පවුල් වෙනුවෙන් අවශ්‍ය සාධාරණට ඉටු කිරීමට මෙන්ම අතුරුදන් අය සම්බන්ධයෙන් පැමිණිලි විමර්ශනය කිරීමට වත්මන් රජය කැපවී කටයුතු කරනවා. සෙන්චෝලේ සිද්ධියට මුහුණ දුන් අයගේ පවුල් 18 කට සහ අතුරුදහන් වු තැනැත්තන්ගේ පවුල් 3 ක් වෙනුවෙන් නිවාස ඉදි කර ගැනීමට අක්කර භාගයක ඉඩමක් සහ රුපියල් ලක්ෂ 50 ක මුදලක් ලබා දෙනවා. ඔබට ඇතිවන ගැටළුවලදී සෑම අවස්ථාවකම වත්මන් රජය සිටිනවා. උතුරේ ජනතාවට මිත්‍රශීලි වෙනත් රජයක් මීට තිබුණේ නැහැ.” යැයි අමාත්‍යවරයා පෙන්වා දුන්නා.
ජනතාවගේ ජීවන තත්වය උසස් කරමින් වත්මන් රජයේ රාජ්‍ය ප්‍රතිපත්ති ඉදිරියට ගෙන යාමට රාජ්‍ය සේවකයින් ලබා දෙන සහාය අගය කරන බවද අමාත්‍යතුමා සදහන් කළා.
නිවාස ආධාර ලබාදුන් පවුල් විසි එකෙහි ජනතාවට අක්කර භාගයක ඉඩමෙහි වගා කිරීම සදහා අවශ්‍ය පොල් පැල සංකේතාත්මකව බෙදාදීමද මෙහිදී සිදුවුණා.
යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි කේ. ඉලන්කුමරන්, කිලිනොච්චිය දිස්ත්‍රික් ලේකම් එස්. මුරලිදරන් යන මෙහිදී අදහස් පළ කළා.













