අධිවේගයේ ගමන් ගන්නා සියලුම වාහනවලට සැප්තැම්බර් 19 සිට ආසනපටි අනිවාර්යයි – පොලිසිය

අධිවේගී මාර්ගවලට ඇතුළු කරන සියලු වාහන සඳහා ආසනපටි පැළඳීම සැප්තැම්බර් මස 19 වන දින සිට අනිවාර්ය බව පොලිසිය පවසනවා.

අධිවේගයේ රියදුරන්ට සහ මගීන්ට ආසනපටි පැළඳීම සම්බන්ධයෙන් විශේෂ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවකට අද (18) පෙරවරුවේ එක්වෙමින් රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව භාර අධ්‍යක්ෂ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මනෝජ් රණගල මේ බව සඳහන් කළා.

ඒ අනුව අධිවේගී මාර්ගවලට ගමන් ගන්නා වාහනවල සිටින සියලුම මගීන් ආසන පටි පැළඳිය යුතු බව සඳහන් කළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා එම නීතිය තදින්ම ක්‍රියාත්මක කරන බවයි පැවසුවේ.

ආසනපටි නොමැතිව ගමන් කරන පුද්ගලයෙකුට රුපියල් දහසක දඩ මුදලක් පැනවිය හැකි බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

වාහනයේ රියදුරුට හෝ මඟියාට එම දඩ පත්‍රිකාව නිකුත් කළ හැකි බවයි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මනෝජ් රණගල සඳහන් කර සිටියේ.