පොළී රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමයේ 11 වන අදියර සඳහා සිසුන් බඳවා ගැනීම ඇරඹෙයි

අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන පොළී රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමයේ 11 වන (2026/2027) අදියර සඳහා සිසුන් බඳවා ගැනීමට අදාළ අයදුම්පත් කැඳවීම ඊයේ (17) සිය ආරම්භ වුණා.

අයදුම්පත් කැඳවීමේ අවසන් දිනය සැප්තැම්බර් මස 27 බවයි අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරන්නේ.

2023, 2024, 2025 යන වර්ෂයන් තුළදී අපොස. උසස් පෙළ විභාගයට පෙනී සිට, අවම වශයෙන් විෂයයන් තුනටම සාමාන්‍ය සාමාර්ථ (S) තුනක් ද, අපොස උසස් පෙළ හෝ අපොස සාමාන්‍ය පෙළ යන විභාගවල ඉංග්‍රීසි විෂයට අවම වශයෙන් සාමාන්‍ය සාමාර්ථයක් (S) ද, එසේම, සාමාන්‍ය පොදු පරීක්ෂණයට අවම වශයෙන් ලකුණු 30ක් ද වශයෙන් ලබාගත්, අයදුම්පත් කැඳවන අවසාන දිනට එනම් ,2026.09.27 දිනට වයස අවුරුදු 25 කට නොවැඩි,ඉහත මූලික සුදුසුකම් සපුරා ඇති සිසුන් හට මේ සඳහා අයදුම්පත් යොමු කිරීමේ හැකියාව පවතිනවා.

මෙමඟින් ඉංජිනේරු තාක්ෂණය, තොරතුරු තාක්ෂණය, විද්‍යාව, වාණිජ සහ මානව හා ශාස්ත්‍රීය යන විෂය ධාරාවන්ට අයත්ව, උපාධි පිරිනමන ආයතන 16ක් හරහා, උපාධි පාඨමාලා 129 කට වැඩි සංඛ්‍යාවක් සිසුන්ට හැදෑරීමට අවස්ථාව උදාවනවා.

මේ සම්බන්ධව වැඩිදුර විස්තර පහත සඳහන් මාධ්‍ය ඔස්සේ ලබාගත හැකියි.

Email: [email protected]
Web: www.mohe.gov.lk
Mobile: 070 355 59 70 / 979,
WhatsApp:070 355 59 79