මුහුදු කොල්ලකරුවන්ගේ තර්ජනවලට තිත තැබීම ගැන ධීවර ඇමතිගේ අවධානය

අම්පාර දිස්ත්‍රික් ධීවර සම්බන්ධීකරණ කමිටු රැස්වීම ඊයේ (14) අම්පාර දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවැත්වුණා.

දිස්ත්‍රික් ලේකම් අනුපම මංගල වික්‍රමආරච්චිගේ සම්බන්ධීකරණයෙන් පැවැති මෙම රැස්වීමේ මුලසුන, ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් විසින් හොබවනු ලැබුවා.

අම්පාර දිස්ත්‍රික්කයේ ධීවර කර්මාන්තය නැංවීම, ධීවරයන් මුහුණ දෙන ගැටලුවලට විසඳුම් සෙවීම සහ ඔවුන්ගේ වෘත්තීය සුරක්ෂිතභාවය තහවුරු කිරීම පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණා.

මෙහිදී දිස්ත්‍රික්කයේ විවිධ ප්‍රදේශවලින් පැමිණි ධීවර සමිති නියෝජිතයෝ, තමන් දිනපතා මුහුණ දෙන වෘත්තීය ගැටලු සහ අභියෝග පිළිබඳව අමාත්‍යවරයා වෙත සවිස්තරාත්මකව කරුණු පැහැදිලි කළා.

විශේෂයෙන්ම, ගැඹුරු මුහුදේ ධීවර කර්මාන්තයේ යෙදෙන ධීවරයන්ට විශාල තර්ජනයක්ව පවතින මුහුදු කොල්ලකරුවන්ගේ ක්‍රියාකාරකම් පාලනය කිරීමට සහ එම ක්‍රියාවන් සම්පූර්ණයෙන්ම තුරන් කිරීම සඳහා කඩිනම් හා ස්ථිර වැඩපිළිවෙළක් අමාත්‍යාංශය මගින් සකස් කළ යුතු බව ධීවර සමිති නියෝජිතයෝ අවධාරණය කරනු ලැබුවා.

ඊට අමතරව, ඔලුවිල් වරාය පූර්ණ ධීවර වරායක් ලෙස ශ්‍රේණිගත කිරීමටත්, වරාය මුඛයේ ගොඩගැසී ඇති වැලි ඉවත් කර ධීවර කටයුතුවලට සුදුසු පරිදි වරාය සංවර්ධනය කිරීමටත් අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියා.

ධීවරයන්ගේ අදහස් හා ඉල්ලීම්වලට සවන් දුන් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා, අදාළ නිලධාරීන් සහ දෙපාර්තමේන්තු සමඟ සාකච්ඡා කර ඉදිරිපත් කරන ලද ගැටලුවලට ප්‍රායෝගික හා කඩිනම් විසඳුම් ලබා දීමට පියවර ගන්නා බවට සහතික වුණා.

ඔලුවිල් වරාය සංවර්ධනය සම්බන්ධයෙන් අදහස් දැක්වූ අමාත්‍යවරයා කියා සිටියේ, මෙම වරාය භාවිත කරමින් ආයෝජනය කිරීමට දෙස් විදෙස් ආයෝජකයින් රැසක් උනන්දුවක් දක්වන බවයි.

ඔවුන්ගේ සහභාගීත්වයෙන් වරාය සංවර්ධනය කිරීමටත්, ධීවරයින්ට අවශ්‍ය අත්‍යවශ්‍ය පහසුකම් ඉහළ නැංවීමටත් පියවර ගන්නා බවද හෙතෙම සඳහන් කළා.

අම්පාර දිස්ත්‍රික්කයේ ධීවරයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට මෙන්ම ධීවර ක්ෂේත්‍රය වඩාත් ලාභදායී හා තිරසාර එකක් බවට පත්කිරීම සඳහා වැදගත් තීරණ රැසක් මෙම රැස්වීමේදී ගනු ලැබුවා.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඒ. ආදම්බාවා, අස්රෆ් තාහීර්, එම්.එස්. අබ්දුල් වාසිත්, කේ. කෝඩීස්වරන්, ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය බී.කේ. කෝලිත කමල් ජිනදාස, ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත ඇතුළු ප්‍රාදේශීය ලේකම්වරුන්, ක්‍රමසම්පාදන අධ්‍යක්ෂවරුන්, දෙපාර්තමේන්තු නිලධාරීන්, ධීවර ක්ෂේත්‍රයට අදාළ ආයතනවල නියෝජිතයන්, ආරක්ෂක අංශ නිලධාරීන් සහ ධීවර සමිති නියෝජිතයෝ රැසක් එක්ව සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්