දිවයිනට රැගෙන ආ ‘රත්මලානේ සයිමා’ ඇතුළු සැකකරුවන් තිදෙනා බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාශයට රැගෙන යයි (වීඩියෝ)

මැලේසියාවේ දී අත්අඩංගුවට ගෙන අද (10) පස්වරුවේ දිවයිනට රැගෙන ආ තොටිවිලගේ ධනුෂ්ක කෞශල්‍ය නොහොත් ‘රත්මලානේ සයිමා’ ඇතුළු සැකකරුවන් තිදෙනා මේ වනවිට කටුනායක ගුවන් තොටුපොළෙන් පිටතට රැගෙන විත් තිබෙනවා.

ඒ අනුව ඔවුන් තිදෙනා බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාශය වෙත රැගෙන යාමට නියමිතයි.

කංජිපානි ඉම්රාන් නැමති ප්‍රබල සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයාගේ ප්‍රධාන ගෝලයා වන ‘රත්මලානේ සයිමා’ නැමති සැකකරු රත්මලාන , ජයසුමනාරාම මාවතේ පදිංච් 41 හැවිරිදි වියේ පසුවන මෙරට තුළ සිදු කළ අපරාධ රැසකට සම්බන්ධ වූ අයෙකු වන අතර ඔහු ගල්කිස්ස අධිකරණයෙන් නිකුත් කළ ගුවන් ගමන් තහනමකට ලක් වී සිටි අතර ජාත්‍යන්තර පොලීසිය මගින් නිකුත් කළ රතු වරෙන්තුකරුවෙක්‌ ද වනවා.

මොහුට අමතරව ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි වියනගේ ඉෂාර සලින්ද කුමාර සහ රත්මලාන ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි වියේ පසුවන ලද්දු හෙන්නැදිගේ ලසන්ත ලක්මාල් සිල්වා නැමති අය ද මෙසේ මැලේසියාවේ දී අත් අඩංගුවට ගෙන කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන ආවා.

ඔවුන් අද (10) සවස 04.25 ට මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 315 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත් තිබුණා.

කටුනායක ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් මොවුන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් පසුවයි මෙලෙස ඔවුන්ව බස්නාහිර පළාත්  උතුර අපරාධ කොට්ඨාශය වෙත රැගෙන යනු ලැබුවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්