ශ්‍රී ලංකා තැපෑල නව්‍යකරණය කිරීම සම්බන්ධ සාකච්ඡාවක්

ශ්‍රී ලංකා තැපෑල නව්‍යකරණය කිරීම සම්බන්ධ පූර්ව සාකච්ඡාවක් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක සහ තැපැල් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අතර ජනාධිපති කාර්යාලයේදී අද (07) පස්වරුවේ පැවැත්වුණා.

ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ජූලි 09 වනදා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ 2027 පූර්ව අයවැය සාකච්ඡාවේදී ලබා දුන් උපදෙස් පරිදි තැපැල් දෙපාර්තමේන්තුව නව්‍යකරණය සඳහා පවතින ගැටලු හඳුනා ගැනීමටත්, තැපැල් සේවාව වඩාත් කාර්යක්ෂම හා ලාභදායී සේවාවක් බවට පත් කිරීමේ අවස්ථා හා විභවතාවන් හඳුනා ගැනීමත් අරමුණු කර ගනිමින් මෙම සාකච්ඡාව පැවැත්වුණා.

මේ වන විට තැපැල් දෙපාර්තමේන්තුව බැංකු සහ රක්ෂණ ආයතන සමග එක්ව මූල්‍ය සේවා මෙන්ම සාම්ප්‍රදායික තැපැල් සේවාවන් සහ භාණ්ඩ බෙදාහැරීම යන ප්‍රධාන ධාරාවන් තුනක් ඔස්සේ සිය සේවා සම්පාදනය කරන බව තැපැල්පති එස්. ආර්. ඩබ්ලිව්. එම්. ආර්. පී සත්කුමාර මෙහිදී පෙන්වා දුන්නා.

භාණ්ඩ බෙදාහැරීමේ ඉහළ විභවතාවක් සහ වෙළෙඳපොළක් මේ වන විට නිර්මාණය වී ඇති බවත්, වෙළෙඳපොළ අවස්ථාවන්ගෙන් 10-15% අතර ප්‍රමාණයක් වන එම සේවාවන් කඩිනමින් පුළුල් කර ගැනීමට හැකියාව පවතින බවත් තැපැල්පතිවරයා සඳහන් කළා.

ඒ සඳහා විශේෂයෙන්ම, ව්‍යාපාරික තීරණ ගැනීමේ හැකියාව ඉහළ නැංවීම, ලාභදායී සේවාවන්හි යෙදෙන කාර්ය මණ්ඩලයට ගෙවීම් ඉහළ නැංවීම වැනි ප්‍රතිසංස්කරණමය තීන්දු තීරණ ගත යුතු බව පෙන්වා දුන් තැපැල්පතිවරයා, ඒ සඳහා මේ වන විට මහා භාණ්ඩාගාරය හා එක්ව අධ්‍යයනයක් සිදු කරමින් පවතින බව වැඩිදුරටත් පැවසුවා.

ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා මෙහිදී සඳහන් කළේ ලෝක තැපැල් සේවාව සංවර්ධනය සමඟ ඉදිරියට ගමන් කර ඇත්තේ ඒ ඒ අවස්ථාවේදී පැනනගින වෙනස්කම්වලට මුහුණ දෙමින්, නවීන අංග එකතු කර ගනිමින් සහ පරිවර්තනය වීම තුළින් බවයි.

සාම්ප්‍රදායික තැපැල් සේවාවන් ක්‍රමයෙන් ඉවත්ව යද්දී භාණ්ඩ හුවමාරු විද්‍යුත් වෙළෙඳාම (E – Commerce) හා අන්තර්ජාලය පදනම් කරගත් භාණ්ඩ බෙදාහැරීමේ කටයුතු පුළුල් වෙමින් පවතින බවද ජනාධිපති ලේකම්වරයා පෙන්වා දුන්නා.

තැපැල් සේවාවේ සාම්ප්‍රදායික මෙහෙයුම් කටයුතු අඩුවන ප්‍රමාණයට වඩා නිර්මාණය වන අවස්ථා ඉහළ මට්ටමක පවතින බවත්, එකී නව ව්‍යාපාරික අවස්ථා කරා යොමු වීමට දෙපාර්තමේන්තුවේ කාර්යමණ්ඩලය සහ යටිතල පහසුකම් ප්‍රතිසංවිධානයකට ලක් කළ යුතු බවත් ජනාධිපති ලේකම්වරයා පෙන්වා දුන්නා.

තැපැල් දෙපාර්තමේන්තුව ඩිජිටල්කරණය කිරීම තුළින් ජාතික හා අන්තර්ජාතික වෙළෙඳාම පුළුල් කිරීමට හැකියාව පවතින බවත්, ඒ සඳහා සේවා සැපයීමේ අවස්ථා තැපැල් දෙපාර්තමේන්තුවට විවරව ඇති බවත් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක වැඩිදුරටත් පෙන්වා දුන්නා.

ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් කපිල ජනක බණ්ඩාර, ජනාධිපති අතිරේක ලේකම් රොහාන් ජයතිලක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (තැපැල්) ආර්. ජී. කේ. විජේසිංහ, නියෝජ්‍ය තැපැල්පති (මෙහෙයුම්) එච්. එම්. පී. හේරත්, නියොජ්‍ය තැපැල්පති (සංවර්ධන) තුසිත හුලංගමුව, නියෝජ්‍ය තැපැල්පති (පාලන) ජී. සී. අයි. ද සිල්වා, කළමනාකරණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ එච්. ඒ. එස්. පී. හෙට්ටිආරච්චි, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් ද මෙම අවස්ථාවට එක්ව සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉස්සර හොරකම් කරපු හොරු වගේම දැන් හොරකම් කරපු හොරුත් ඉන්නවනේ - දැන් දාන්නේ පැලැස්තර..
14:52
Video thumbnail
පොලිසියට වෙට්ටු දදා තරගෙට බයික් එකේ ගිය තරුණයා
00:37
Video thumbnail
මීගමුව ගැටුමට සම්බන්ධන සෙට් එක නැවත් බන්ධනාගාරයට
01:49
Video thumbnail
කුරුවිට බන්ධනාගාරයට ආ ආරක්ෂක අංශ පිටව ගිය හැටි
02:18
Video thumbnail
STF ඇතුළු ආරක්ෂක අංශ පල්ලන්සේන බන්ධනාගාරය තුළට
00:54
Video thumbnail
දැඩි ආරක්ෂාව මැද මහේස්ත්‍රාත්වරයා කුරුවිට බන්ධනාගාරයට පැමිණෙන අයුරු
02:20
Video thumbnail
බන්ධනාගාරවල ඇතිවූ නොසන්සුන්තාව ගැන අධිකරණ ඇමති කට අරියි - කිසිම චාන්ස් එකක් නෑ කුමන්ත්‍රණ කරන්න
02:34
Video thumbnail
කුරුවිට බන්ධනාගාරයට ආ ආරක්ෂක අංශ පිටව ගිය හැටි - කට්ටිය පෝළිමට එළියට
03:15
Video thumbnail
අකිලගේ ආරක්ෂාව ගැන බන්ධනාගාර කොමසාරිස්ට එජාපයෙන් ලිපියක් - එතුමාගේ ජීවිතේ අනතුරේ
01:29
Video thumbnail
අර්චුනා හදිසියේම නැගිටියි - රට බෙදන කතා මම කිව්වේ නෑ..එහෙම එකක් දෙමළෙන් කිව්වේ නෑ
01:37