ගුණාත්මක විද්‍යාවක් සඳහා පදනම සැකසෙන්නේ සමාජයේ සැමට කිසිදු භේදයකින් තොරව සේවය කිරීමට පවතින හැකියාව මත බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා.
ඊයේ (05) දින බත්තරමුල්ලේ දී පැවති, “Pera Engineers’ Day Pinnacle 2026” පේරාදෙණිය විශ්වවිද්‍යාලයීය ආදි විද්‍යාර්ථි ඉංජිනේරු විශිෂ්ටතා සම්මාන උළෙල සඳහා එක්වෙමින් අග්‍රාමාත්‍යතුමිය මේ බව ප්‍රකාශ කළා.
ඉංජිනේරු ක්ෂේත්රය තුළ ඉහළ ස්ථාන අත්පත් කරගෙන සිටින පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ ආදි විද්‍යාර්ථි වෘත්තිකයින් සහ ව්‍යවසායකයින් ඇගයීමේ අරමුණින් එම පීඨයේ ආදි විද්‍යාර්ථි සංගමයේ (PEFAA) කොළඹ ශාඛාව විසින් මෙය සංවිධානය කර තිබුණා.
මෙහිදී ආදි විද්‍යාර්ථයින් පිරිසකට ඉංජිනේරු විශිෂ්ටතා සම්මාන පිරිනැමූ අග්‍රාමාත්‍යතුමිය, අනතුරුව මෙසේද පවසා සිටියා.
“පේරාදෙණිය විශ්වවිද්‍යාලය ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ඉතිහාසයේ අද්විතීය ස්ථානයක් හිමිකර ගත් අධ්‍යාපන ආයතනයක්. මහාමාර්ග, පාලම් සහ වාරි පද්ධතිවල සිට බලශක්ති ව්‍යාපෘති, නිෂ්පාදන කර්මාන්ත, විදුලි සංදේශ, ඩිජිටල් තාක්ෂණය සහ මහජන යටිතල පහසුකම් දක්වා වූ ක්ෂේත්‍ර හරහා, අද අප දන්නා ශ්‍රී ලංකාව හැඩගැස්වීමට පේරාදෙණි ඉංජිනේරුවන් දායක වී තිබෙනවා.
එහෙත් ඉංජිනේරු විද්‍යාව යනු හුදෙක් ව්‍යුහයන්, යන්ත්‍ර සූත්‍ර හෝ තාක්ෂණය පමණක් නොවේ. එහි හදවත විය යුත්තේ මානව වර්ගයාගේ ගැටලු විසඳීමයි. ඒ මිනිසුන්ගේ ජීවිත වඩාත් යහපත් කරන්නේ කෙසේද යන්න කියන ඒ බලවත් ප්රශ්නය මත තමයි සෑම අර්ථවත් ජයග්රහණයක්ම ආරම්භ වන්නේ.
ඉංජිනේරුවන් ලෙස ඔබ ප්‍රවාහන ජාල දියුණු කිරීම හරහා ප්‍රජාවන් එකිනෙකට සම්බන්ධ කරයි. එසේම පිරිසිදු ජලය, තිරසාර බලශක්තිය සහ නොයෙකුත් යටිතල පහසුකම් සංවර්ධනය කිරීමට දායක වීම ඔස්සේ සමාජීය අවශ්‍යතා සඳහා නොයෙකුත් විසඳුම්ද සපයනවා. එහිදී ඔබ ගන්නා තීරණ සහ ප්‍රමුඛතා අනුව, අප ගොඩනඟන සමාජය සහ රට පිළිබඳ දැඩි බලපෑමක් ඇති කළ හැකියි.
එසේම, අපට ඉංජිනේරු ක්ෂේත්රය තුළ සිටින වෘත්තිකයින්ගේ දැනුම් සීමාවන් පුළුල් කිරීමට, දැනුම ලබාගත හැකි මූලාශ්රයන් නිර්මාණය කිරීමට සහ දැනුම බෙදා හැරීම වැනි සාධක සඳහා අවශ්‍ය පසුබිම සැකසීමට ශක්තිමත් පර්යේෂණ ක්‍රියාවලියක් අවශ්‍ය වී තිබෙනවා.
විශේෂයෙන්ම ඉංජිනේරු ක්ෂේත්රයේ පවතින නිවැරදි ප්රතිපත්තියක සහ ක්‍රමවත් ආයතනික ව්‍යුහයක හිඟකම වැනි කරුණු මඟහරවා ගැනීමට රජයක් ලෙස අප කටයුතු කරමින් සිටිනවා. ඒ සඳහා සම්පූර්ණ සහයෝගය ලබාදීමට අප සූදානම්. ඒ නිසාම තමයි අපි පර්යේෂණ සහ සංවර්ධන (R&D) ප්‍රතිපත්තියක් හඳුන්වා දී තිබෙන්නේ. ඒ හරහා ඉංජිනේරු ක්ෂේත්රයට අදාළ සියලුම ආයතන එකතු කර ගනිමින්, ශ්‍රී ලංකාවට ගැලපෙන පර්යේෂණ කටයුතු සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන එකතු කර, ඒකාබද්ධ ක්‍රමවේදයක් සකස් කිරීමට අප අපේක්ෂා කරනවා.
එමෙන්ම, රටක් ගොඩනඟන එක ආණ්ඩුවේ වගකීමක් විතරක් නෙවෙයි. ආණ්ඩුවලට නීති, ප්‍රතිපත්ති සහ ආයතන හදන්න පුළුවන්, හැබැයි ඒ ප්‍රතිපත්ති ඇත්තටම රට ඉදිරියට ගෙන යන වැඩ බවට පත් කරන්නේ වෘත්තිකයන්, ව්‍යාපාරිකයන්, උගත් විද්වතුන්, නව නිපැයුම්කරුවන් සහ සාමාන්‍ය පුරවැසියන්. අවංකකම, දක්ෂතාව, එකිනෙකා අත්නොහැරීම සහ එකිනෙකට ගරු කිරීම මත පදනම් වූ රටක් සෑදීමේ වගකීම අප සැවොම එකතුවෙලා භාරගත යුතුයි.
එසේම, අපේ විශ්වවිද්‍යාල අලුත් දැනුම උත්පාදනය කරන, පර්යේෂණ සිදුකරන සහ සමාජයට වගකියන මධ්‍යස්ථාන බවට පත්විය යුතුයි. අධ්‍යයන කටයුතු හා ප්‍රායෝගික රැකියා ක්ෂේත්රය අතර තියෙන බැඳීම තවත් ශක්තිමත් කරමින්, තරුණ වෘත්තිකයන් හට ඔවුන්ගේ අදහස් සමාජයේ ගැටලු විසඳන ප්‍රායෝගික විසඳුම් බවට පත් කරගැනීමට අවස්ථා සලසා දෙන ස්ථාන බවටද ඒවා පත්විය යුතුයි.”
මෙම අවස්ථාව සඳහා ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන ඇතුළු මැති ඇමතිවරුන්, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපකුලපතිතුමා, ඉංජිනේරු පීඨයේ පීඨාධිපතිතුමා ඇතුළු අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩලය ඇතුළු පිරිසක් සහභාගී වී සිටියා.













