වත්මන් රජයේ ජාතික නිවාස සංවර්ධන වැඩසටහන සඳහා රුපියල් මිලියන 44,000ක් වෙන් කර ඇති බව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ අද (06) කොළඹ දිස්ත්‍රික්කයේ, කැස්බෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, පැලැන්වත්ත බටහිර ග්‍රාම නිලධාරී වසමේ අස්වැසුම ප්‍රතිලාභී නිවාස අහිමි පවුලකට සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ “සුවපහසු නිවසක් – සවිබලැති පවුලක්” රන්විමන නිවාස යෝජනා ක්‍රමය යටතේ ඉදිකළ නිවසක් ප්රදානය කිරීමේ අවස්ථාවට එක්වෙමින්.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල සඳහන් කළේ, ජාතික නිවාස වැඩසටහන යටතේ නිවාස අහිමි අඩු ආදායම්ලාභී පවුල් 30,000කට මෙම වසර තුළ නිවාස ලබාදීමට නියමිත බවත් ඒ සඳහා නිවාස, ඉදිකිරීම් හා ජලසම්පාදන අමාත්‍යාංශය, ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍යාංශය, වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය ඇතුළු රේඛීය අමාත්‍යාංශවල ඒකාබද්ධ වැඩසටහනක් ලෙස මෙම ජාතික නිවාස ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන බවද අමාත්‍යවරයා සඳහන් කළා.
මෙම අවස්ථාවට කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණ ආරච්චි , කැස්බෑව නගර සභාවේ සභාපති චාමර මද්දුම, කැස්බෑව ප්‍රාදේශීය ලේකම්, ප්‍රාදේශීය මහජන නියෝජිතයන්, රාජ්‍ය නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.













