දිට්වා සුළි කුණාටුව හේතුවෙන් දැඩි ලෙස පීඩාවට පත් වූ මඩකළපුව දිස්ත්‍රික්කයේ ඉස්සන් ගොවිපළ හිමියන් වෙනුවෙන් රුපියල් මිලියන 9.55ක මූල්‍ය ආධාර චෙක්පත් ප්‍රදානය කිරීමේ විශේෂ වැඩසටහනක් ඊයේ (28) මඩකළපුව පැරණි දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවැත්වුණා.
ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතාගේ ප්‍රධානත්වයෙන් සහ මඩකළපුව දිස්ත්‍රික් ලේකම් ජේ. එස්. අරුල්රාජ් මහතාගේ මෙහෙයවීමෙන් මෙම වැඩසටහන සංවිධාන කර තිබුණි. එහිදී සුළි කුණාටු ව්‍යසනයෙන් හානියට පත් වූ ඉස්සන් ගොවිපළ හිමියන් 30 දෙනකුට අමාත්‍යවරයා විසින් මෙම මූල්‍ය ආධාර චෙක්පත් පිරිනමනු ලැබුවා.
මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී කන්දසාමි ප්‍රභු, වෙරළාශ්‍රිත ජලජීවී වගා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ එම්. ජී. ජී. ගුණසේන, ශ්‍රී ලංකා ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරියේ අතිරේක සාමාන්‍යාධිකාරී (සංවර්ධන) ඉංජිනේරු එන්. සිවලිංගම් සහ වෙරළාශ්‍රිත ජලජීවී වගා සංවර්ධන දෙපාර්තමේන්තුවේ නැඟෙනහිර පළාත් සහකාර අධ්‍යක්ෂ එස්. රවිකුමාර් ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහ ප්‍රතිලාභී ගොවීහූ රැසක් සහභාගි වී සිටියා.













