දසවන පාර්ලිමේන්තුව සඳහා වන ශ්‍රී ලංකා – බහරේන් පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපතිවරයා ලෙස පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි තේරී පත් වුණා.
එම සංගමය පිහිටුවීම සඳහා වූ රැස්වීම පාර්ලිමේන්තුවේ දී ඊයේ (23) කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්නගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු අතර පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර ද මෙම අවස්ථාවට සහභාගී වුණා.
පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ සංගමයේ ලේකම් ලෙස තේරී පත් වූ අතර, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රි නීතිඥ අනුෂ්කා තිලකරත්න සංගමයේ භාණ්ඩාගාරික ලෙස තේරී පත් වුණා.
මිත්‍රත්ව සංගමයේ උප සභාපතිවරුන් ලෙස ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කවීන්දිරන් කෝඩීස්වරන්, අබූබකර් අතම්බාවා,කේ. කාදර් මස්තාන් සහ හෙක්ටර් අප්පුහාමි තේරී පත් වූ අතර සහකාර ලේකම්වරුන් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වෛද්‍ය ඉලෙයියතම්බි සිරිනාත් සහ ලාල් ප්‍රේමනාත් තේරීපත්ව තිබෙනවා.
1992 වසරේ ආරම්භ වූ ශ්‍රී ලංකාව සහ බහරේන් රාජ්‍යය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා, දේශපාලන, ආර්ථික හා සංස්කෘතික ක්ෂේත්‍ර ඔස්සේ අඛණ්ඩව වර්ධනය වී ඇති බවත් බහරේනයේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව දෙරට අතර සබඳතා ශක්තිමත් කරන වැදගත් පුරුකක් බවත් මෙහිදී අදහස් දක්වමින් කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න ප්‍රකාශ කළා.
එමෙන්ම දෙරට අතර පාර්ලිමේන්තු මට්ටමේ සංවාද හා සහයෝගීතාව තවදුරටත් වර්ධනය කිරීම සඳහා මෙම මිත්‍රත්ව සංගමය වැදගත් වේදිකාවක් වනු ඇති බව සඳහන් කළ කථානායකවරයා, ගෝලීය අභියෝග හමුවේ හුදකලා වීම නොව අඛණ්ඩ සංවාදය සහ සම්බන්ධතාව අත්‍යවශ්‍ය බව ද අවධාරණය කළා.
ශ්‍රී ලංකාව සහ බහරේන් රාජ්‍යය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමේ වැදගත්කම අවධාරණය කළ සංගමයේ අභිනව සභාපතිවරයා වෙළඳාම, ආයෝජන සහ සංචාරක ක්ෂේත්‍රයන්හි ද්විපාර්ශ්වික සහයෝගීතාව වර්ධනය කිරීම සඳහා පාර්ලිමේන්තු මට්ටමේ සක්‍රීය මැදිහත්වීම් අවශ්‍ය බව ඔහු පෙන්වා දුන්නා.
බහරේනයේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාවගේ සුබසාධනය සහ දෙරටේ ආර්ථික දියුණුව උදෙසා මෙම මිත්‍රත්ව සංගමය වැදගත් කාර්යභාරයක් ඉටු කරනු ඇති බව සඳහන් කළ සභාපතිවරයා, මෙම පොදු අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා කැපවී කටයුතු කරන බව ද ප්‍රකාශ කළා.
තවද දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා පාර්ලිමේන්තු මට්ටමේ සහයෝගීතාවයේ වැදගත්කම අවධාරණය කළ ශ්‍රී ලංකා – බහරේන් පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ ලේකම්වරයා මෙවැනි හමුවීම් දෙරට අතර මිත්‍රත්වය සහ අවබෝධය වර්ධනය කිරීමට මහඟු අවස්ථාවක් සලසා දෙන බව ද පෙන්වා දුන්නා.
මෙම රැස්වීම සඳහා අමාත්‍යවරුන්, නියෝජ්‍ය අමාත්‍යවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු පාර්ලිමේන්තුවේ නිලධාරීන් පිරිසක් සහභාගී වී සිටියා.













