ඇපමත සිටියදී පකිස්ථානයට පැනගිය බාලවයස්කාර දැරියන් දූෂණය කළ පුද්ගලයාට වසර 27ක සිරදඬුවමක්
වයස අවුරුදු 12 තරම් කුඩා බාලවයස්කාර දැරියන් පිරිසක් දිගින් දිගටම දූෂණය කර, නඩු විභාගය අතරතුර ඇපමත සිටියදී පකිස්ථානයට පලාගිය 41 හැවිරිදි අමර් ඉලියාස් නමැති පුද්ගලයාට බ්‍රිතාන්‍ය අධිකරණයක් විසින් ඔහු නොමැතිවම වසර 27ක බරපතළ සිරදඬුවමක් නියම කර තිබෙනවා.
‘කිලර්’ යන අන්වර්ථ නාමයෙන් පෙනී සිටි මොහු, මීට වසර 20කට පමණ පෙර ෂෙෆීල්ඩ් නුවරදී තුවක්කු පෙන්වා තර්ජනය කරමින් දැරියන් පස්දෙනෙක් දරුණු ලෙස අපයෝජනයට ලක්කර ඇති බව බ්‍රිතාන්‍ය ජාතික අපරාධ ඒජන්සිය අනාවරණය කළා.
මෙම නඩු තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරු පීටර් හැම්ප්ටන් ප්‍රකාශ කළේ, විත්තිකරු යුක්තියෙන් බේරීම සඳහා වෙනත් මහාද්වීපයකට පලාගොස් “බියගුලු” හැසිරීමක් පෙන්වද්දී, ඔහුට එරෙහිව සාක්ෂි දීමට ඉදිරිපත් වූ වින්දිත කාන්තාවන් පස්දෙනා අතිශය ප්‍රශංසනීය ධෛර්යයක් සහ වීරත්වයක් පෙන්නුම් කළ බවයි.
විත්තිකරු විදේශගතව සිටිමින් තවදුරටත් නීතිමය ක්‍රියාවලියට බාධා කිරීමට උත්සාහ කරන බැවින්, ඕනෑම ක්‍රමයක් භාවිත කර ඔහුව වහාම නැවත බ්‍රිතාන්‍යයට ගෙන්වා ගැනීමට පියවර ගන්නා ලෙස විනිසුරුවරයා බලධාරීන්ගෙන් ඉල්ලා සිටියා.
මෙම අපරාධවලට සහය දීම සහ එක් දැරියකට හිරිහැර කිරීම සම්බන්ධයෙන් වෙන් වෙන්ව කළ නඩු විභාගවලින් පසු අමර් ඉලියාස්ගේ සහෝදරයන් දෙදෙනෙක් වන කමර් සහ කම්රාන් යන අයටද පිළිවෙළින් වසර 10ක සහ වසර 3ක සිරදඬුවම් නියම වුණා.













