දූෂණ චෝදනා සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබූ නඩු හතරක චෝදනා 18කට වරදකරු කෙරුණු සරණ ගුණවර්ධනට එක් චෝදනාවකට බරපතල වැඩ සහිත වසර හතර බැගින් වසර 72ක සිරදඬුවම් කොළඹ මහාධිකරණය විසින් අද (09) නියම කළා.
එම වසර 72 එකවර වසර 16කින් ගෙවීයා යුතු බවද එහිදී මහාධිකරණ විනිසුරුවරයා නියෝග කරනු ලැබුවා.
ඊට අමතරව එම නඩු හතර සඳහා සරණ ගුණවර්ධනට රුපියල් ලක්ෂ 18 ක දඩයක් ද අධිකරණය විසින් නියම කළා.
එකී දඩ මුදල් නොගෙවන්නේ නම් තවත් අමතර සිරදඬුවම් ද නියම කෙරුණා.
දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත් කරමින් කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහායිල් මහතා විසින් මෙම තීන්දුව ලබා දුන්නා.
තීන්දුව ප්‍රකාශයට පත් කරමින් මහාධිකරණ විනිසුරුවරයා සඳහන් කළේ විත්තිකරුට එරෙහිව අල්ලස් කොමිසම විසින් එල්ල කර තිබූ දූෂණ චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට පැමිල්ල විසින් ඔප්පු කර ඇති බවයි.
රාජ්‍ය ආයතනවල සිදුවන දූෂණ රටේ ආර්ථිකය කෙරෙහිද අගතියක් සිදුවන බවත්, ආර්ථිකය බංකොලොත් වීමක් කෙරෙහි මෙවැනි ක්‍රියා බලපෑ බවද නඩු තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරුවරයා සඳහන් කළා.
රාජ්‍ය ආයතනවල සිදුවන මෙවැනි දූෂිත ක්‍රියා එම ආයතන කෙරෙහි පවතින ජනතා විශ්වාසය බිඳ වැටීමට හේතු වන බවද එහිදී විනිසුරුවරයා පැවසුවා.
මෙම විත්තිකරුට දඬුවම් නියම කිරීමේදී අපරාධ නඩු විධාන සංග්‍රහයේ 303 වන වගන්තිය යටතේ ලිහිල්ව කටයුතු කරන ලෙස විත්තිය නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලීමක් කළා.
නමුත් මෙම වරදේ ස්වභාවය පිළිබඳව සලකා බැලීමේදී රාජ්‍ය ආයතනවල සිදුවන දූෂණය අධෛර්යමත් කිරීමට හේතුවන ආකාරයේ දඬුවමක් ලබාදීමට අධිකරණයට සිදුවන බව එහිදී විනිසුරුවරයා ප්‍රකාශ කළා.
විනිසුරුවරයා තීන්දුව ප්‍රකාශයට පත් කරමින් පවසා සිටියේ, රජයේ ආයතන තුළ සේවය කරන රජයේ සේවකයින් සිදුකරන දූෂණ ක්‍රියා ආර්ථික පරිහානයය ලක් වීමට හේතු වී ඇති බවයි.
රජයේ ආයතන කෙරෙහි තිබෙන ජනතා විශ්වාසය මෙවැනි ක්‍රියා හේතුවෙන් බිඳී ගොස් තිබෙන බව කියා සිටි විනිසුරුවරයා එවන් පසුබිමක විත්තිකරු හට දඬුවම් නියෝග ලිහිල් කිරීමක් කළ නොහැකි බව අවධාරණය කරමින් විත්තිකරුට දඬුවම් නියෝග ප්‍රකාශයට පත් කරනු ලැබුවේ.
2006 වසරේ සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී එම ආයතනයට වාහන තුනක් කුලී පදනම මත ලබා ගැනීමේදී ඒවායේ හිමිකරුවන්ට වාසියක් සැලසෙන ආකාරයෙන් කටයුතු කරමින් රජයට පාඩු සිදු කිරීම සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් සරණ ගුණවර්ධනට විරුද්ධව මෙම නඩුව හතර ගොනු කර තිබුණා.
පළමු නඩුවේ විත්තිකරුට එරෙහිව තිබූ චෝදනා 06ටම විත්තිකරු වරදකරු කෙරුණු අතර, එම එක් එක් චෝදනාවට වසර 04 බැගින් සිර දඬුවම් නියම කළ අතර එකී නඩුවට වසර 24ක සිරදඬුවම් නියම කළ විනිසුරුවරයා එම සිරදඬුවම් සියල්ල එකවර වසර 04කින් ගෙවී යන ලෙස ලබා දීමට නියම කළේ.
දෙවැනි නඩුවේ ද විත්තිකරුට එරෙහිව චෝදනා 06ක් තිබූ අතර ඉන් චෝදනා දෙකකින් විත්තිකරු නිදොස් කොට නිදහස් කළ විනිසුරුවරයා සෙසු චෝදනා 04ට විත්තිකරු වරදකරු කරමින්, එක් එක් චෝදනාවකට වසර 04 බැගින් වසර 16ක සිර දඬුවම් නියම කළා.
එම සිරදඬුවම වසර 04කින් එකවර ගෙවී යන ලෙස ලබා දීමට ද එහිදී නියෝග කරනු ලැබුවා.
තුන්වන නඩුවේ ඉදිරිපත් කර තිබූ චෝදනා 06ටම විත්තිකරු වරදකරු කළ අතර, එක් එක් චෝදනාවකට වසර 04 බැගින් සිර දඬුවම් නියම කරමින් වසර 24ක සිරදඬුවම් නියම කළ අතර එම සිර දඬුවමද එකවර වසර 04කින් ගෙවී යන ලෙස ලබාදීමට විනිසුරුවරයා නියම කළේ.
පසුව හතරවන නඩුවේ චූදිතට එරෙහිව තිබූ චෝදනා දෙකටම විත්තිකරු වරදකරු කළ විනිසුරුවරයා එම චෝදනා දෙකටද වෙන් වෙන් වසර 08ක සිර දඩුවම් නියම කරනු ලැබුවේ.
එම සිරදඬුවම ද වසර හතරකින් එකවර ගෙවී යන ලෙස නියම කළා.
ඒ, අනුව විත්තිකරු චෝදනා 18කට වරදකරු කෙරුණු අතර වසර 72ක සිරදඬුවම් නියම වුණා.
එම සිර දඬුවම වසර 16කින් එකවර ගෙවී යන ලෙස ලබා දුන්නා.













