මාලදිවයින් ජනපති ඇතුළු දූත පිරිස වෙනුවෙන් ජනපතිගෙන් විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහයක්

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ආරාධනයකට අනුව මෙරට රාජ්‍ය සංචාරයක නිරත මාලදිවයින් ජනාධිපති ආචාර්ය මොහමද් මුයිසු වෙනුවෙන් ජනාධිපතිවරයා විසින් පිරිනමන ලද විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහය කොටුව ජනාධිපති මන්දිරයේදී ඊයේ (04) පැවැත් වුණා.

ජනාධිපති මන්දිරය වෙත පැමිණි මාලදිවයින් ජනාධිපති ආචාර්ය මොහමද් මුයිසු සහ සජිදා මොහොමඩ් මැතිණිය, ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් උණුසුම් ලෙස පිළිගනු ලැබුවා.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කළේ මාලදිවයින හා ශ්‍රී ලංකාව අතර පවතින දිගුකාලීන මෙන්ම දිනෙන් දෙන වර්ධනය වන සමීප සබඳතාවය මාලදිවයින් ජනාධිපති මොහොමඩ් මුයිසු සහ ජනාධිපති ආර්යා සජිදා මොහොමඩ්ගේ පැමිණීමෙන් තව තවත් ශක්තිමත් වූ බවයි.

දෙරටේ පවතින අද්විතීය චමත්කාරය එක්ව ප්‍රවර්ධනය කළ හැකි නම් සංචාරක ක්ෂේත්‍රය තුළ දෙරටෙහිම ජනතාවට විශාල ජයග්‍රහණයන් උරුමකර දෙනු ඇති බවද ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නා.

ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ ජනතාව අතර පවතින ශක්තිමත් සබඳතාවය, සංස්කෘතිකමය බැඳීම, සියවස් ගණනාවක් ඈත සිට පැවතෙන්නක් බවද දෙරටෙහි භාෂාවන් අතර පොදු සමාන කම් පවතින බවද මේ බැඳීම නිසා මාලදිවයින හා ලංකාව අතර නිරන්තයෙන්ම සමීප ගනුදෙනු සිදුවන සමීප මිතුරන් බවට අද මෙන්ම හෙටද පත්වන බව ජනාධිපතිවරයා සඳහන් කළා.

1965 දී මාදිවයින ජනරජයේ නිදහස පිළිබඳ ප්‍රකාශනය අත්සන් තැබීමට සත්කාරකත්වය ලබාදීමට ලැබීම ශ්‍රී ලංකාවට ගෞරවයක් බව විශ්වාස කරන්නේ යැයිද, එය අප දෙරට අතර එක්සත් බවෙහි සහයෝගීතාවයේ සහ සුහදත්වයේ සංකේතයක් සේ පවතින බවද සඳහන් කළ ජනාධිපතිවරයා ඒ නිසා මාලදිවයින් ජනතාව ලංකාව සිය දෙවන නිවහන ලෙස සළකන බවද පැවසුවා.

ශ්‍රී ලංකාවේ සමාජීය හා ආර්ථික දියුණුව මෙන්ම කලාපිය සාමය හා සමෘද්ධිය සඳහා එක්ව කටයුතු කිරිමේදී විශ්වාස දායක වටිනා හවුලකරුවෙකු ලෙස මාලදිවයින සළකන බවද ගෝලිය තත්වයන් වලදී දෙරට අතර පොදු මැදිහත් වීම අත්‍යවශ්‍ය බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නා.

ඉන්දියානු සාගරයේ අසල්වැසියන් ලෙස දෙරටෙහි පොදු සංසිද්ධීන් ගැඹුරින් එකිනෙකට බැඳී පවතින බව පෙන්වා දුන් ජනාධිපති අනුර කුමාර දිසානායක මුහුදු මට්ටම ඉහළ යාම, දේශගුණික විපර්යාස, ගෝලීය ආර්ථීක අර්බුද වැනි කරුණු එලෙස දෙරටටම බලපාන පොදු කරුණු බවද මේවාට මුහුණ දිය හැක්කේ එක්සත්කම හා සාමූහික අරමුණුවලින් පමණක් බවද සඳහන් කළේය. මෙරට ව්‍යාසනයට පත්වූ සෑම අවස්ථාවකම මාලදිවයින සමීපතම මිතුරෙකු ලෙස ලබාදුන් සහයෝගය අගය කරන අතර එය කෘතවේදීව සිහිපත් කරන බවද ජනාධිපතිවරයා පැවසුවා.

දෙරටේ නායකයින් අතර එදින පැවැත්වූ සාකච්ඡා දෙරටෙහි ජනතාවගේ සහයෝගිතාවය වර්ධනය කරන නව මංපෙත් විවර කරනු ඇති බවද සඳහන් කළ ජනාධිපතිවරයා, දෙරට අතර සහයෝගීතාවය වර්ධනය කරගනිමින් ඉවසීම, දයානුකම්පාව, තිරසර භාවය පිළිබඳ සදාකාලික වටිනාකම් ආරක්ෂා කර ගනිමින් දෙරටෙහි ජනතාවගේ අනාගතය දීප්තිමත් කිරිම සඳහා සහෝයගිතාවය එක්සත් බව රැක ගනිමින් එක්ව කටයුතු කරමු යැයි මාලදිවයින් ජනාධිපතිවරයාට ආරාධනා කළා.

මාලදිවයින් ජනාධිපතිවරයා ඇතුළු දූත පිරිසට සුබපැතුම් ඒක් කළ ජනාධිපතිවරයා ඔවුන්ගේ පැමිණීම දෙරටෙහි ජාතීන්ගේ අඛන්ඩ ප්‍රගතියට හා සමෘද්ධිය සඳහා හේතුවනු ඇතැයි පැවසුවා.

මෙහිදී අදහස් දැක්වූ මාලදිවයින් ජනාධිපති ආචාර්ය මොහමද් මුයිසු, මාලදිවයින් ඉතිහාසයේ දිගුකාලීන කොටස්කරුවෙකු වන ශ්‍රී ලංකාවට පැමිණීමට ලැබීම ඉමහත් සතුටක් බවත් මෙම අවස්ථාව හුදෙක් රාජ්‍ය තාන්ත්‍රික සැමරුමක් පමණක් නොව දූපත් රාජ්‍යයන් දෙක යා කරන මහා සාගරය මෙන් මෘදු හා ගැඹුරින් ගලා යන මිත්‍රත්වයක සැමරුමක් බවත් සඳහන් කළා.

සියවස් ගණනාවක් පුරා දෙරටේ වෙරළ තීරයන් අතර ඇති වූ මුහුදු රළ පහරවල් වෙළඳාම සහ සංචාරකයින්ට වඩා වැඩි යමක් රැගෙන ආ බව සඳහන් කළ මාලදිවයින් ජනාධිපතිවරයා ඒමගින් විශ්වාසය සහ ආදරය මෙන්ම තරඟකාරිත්වයකින් තොරව, සහයෝගීතාවයෙන් ජීවත්වීමට ඉගෙන ගත් ජාතීන් දෙකක රිද්මය රැගෙන ආ බව පැවසීය. නිහතමානී, අවංක සහ චිරස්ථායී වූ මෙම මානුෂීය බැඳීම් ජාතීන් දෙක එකට බැඳ තබන රන් හුයක් වැනි බව ඔහු ප්‍රකාශ කළා.

දෙරටේ මිත්‍රත්වය අවංක ගෞරවය මත පදනම් වූවක් වන බැවින් කාලය විසින් එල්ල කරන ලද අභියෝගයන්ට සාර්ථකව මුහුණ දී ඇති බවත් සෑම යුගයකදීම ශ්‍රී ලංකාව මාලදිවයින වෙත සිය මිත්‍රත්වයේ ස්ථාවර දෑත දිගු කර ඇති බවත් සිහිපත් කළා.

මාලදිවයින් ගොඩනැගී ඇති පදනම හැඩගැස්වීමට සහ එහි ප්‍රගතිය පෝෂණය කිරීමට ශ්‍රී ලංකාව ලබා දුන් සහායට මාලදිවයින් ජනතාව කෘතවේදී වන බව ද ජනාධිපති ආචාර්ය මොහමද් මුයිසු සඳහන් කර සිටියා.

සාගරය මගින් ශ්‍රී ලංකාව සහ මාලදිවයින් බෙදා වෙන් නොකරන අතර, එය දෙරට එක්සත් කරන බවද ඉන්දියන් සාගරය සාමයේ, ස්ථාවරත්වයේ සහ සැමට අවස්ථාවන් උදා කරන මුහුදක් ලෙස පවතින බව සහතික කිරීම සඳහා දෙරට සතු ලොකුම ශක්තිය වන්නේ එම එකමුතුකම බවද ඔහු පෙන්වා දුන්නා.

දේශගුණික විපර්යාස යනු වර්තමානයේ ලෝකයම මුහුණ දෙන අභියෝගය බව සඳහන් කළ මාලදිවයින් ජනාධිපතිවරයා කුඩා ජාතීන්ට නොනැසී පැවතීමට සහ දියුණු වීමට ඇති අයිතිය වෙනුවෙන්, දේශගුණික යුක්තිය වෙනුවෙන් එක්ව හඬ නැගිය යුතු බව සඳහන් කළා.

නවෝත්පාදනය, ඔරොත්තු දීමේ හැකියාව සහ ගෝලීය උපදේශනය වෙනුවෙන් අත්වැල් බැඳගනිමින් දෙරට මුහුණ දෙන සියළු අවදානම් හවුල් ශක්තියක් බවට පත් කර ගත යුතු බවද දෙරටේ රාජ්‍ය තාන්ත්‍රිකභාවයට අර්ථයක් ලබා දෙන්නේ දෙරටේ ජනතාව බවද මාලදිවයින් ජනාධිපති ආචාර්ය මොහමද් මුයිසු ප්‍රකාශ කර සිටියා.

සාක්ෂරතාවය, සෞඛ්‍ය සේවා සහ මානව සංවර්ධනය යන ක්ෂේත්‍රවල ශ්‍රී ලංකාව ලබා ඇති ජයග්‍රහණ මාලදිවයිනට දිගු කලක් තිස්සේ ආදර්ශයක් වී ඇති බව ප්‍රකාශ කළ ජනාධිපතිවරයා අනාගතය දෙස බලන විට, තරුණ පරපුර බලගන්වන සහ දෙරටේ සමාජයන් නගා සිටුවන අධ්‍යාපනය, පුහුණුව සහ තාක්‍ෂණය යන අංශවල අවස්ථා නිර්මාණය කරමින් මෙම බැඳීම තවදුරටත් ගැඹුරු කිරීමට අපේක්ෂා කරන බව පැවසීය. එසේ පෝෂණය කරන සෑම ශිෂ්‍යයෙකුම, සුවපත් කරන සෑම ජීවිතයක්ම සහ දිරිමත් කරන සෑම මනසක්ම වඩාත් සාමකාමී සහ සමෘද්ධිමත් කලාපයක් සඳහා කරන ආයෝජනයක් බව ඔහු අවධාරණය කළා.

මාලදිවයින් – ශ්‍රී ලංකා මිත්‍රත්වය ලියා ඇත්තේ නිවේදනවල පමණක් නොවන බවත්, එය ජීවත් වන්නේ දෙරටේ ධජ, භාෂා සහ ආහාර පිළිබඳව දැන හැඳින වැඩෙන අපේ දරුවන්ගේ සිනහව තුළ බවත් මාලදිවයින් ජනාධිපතිවරයා සිහිපත් කර සිටියා.

පරම්පරා ගණනාවක් පුරා දෙරටේ පුරවැසියන් අතර හුවමාරු වන උණුසුම සහ එක් ජාතියක් අනෙක් ජාතියේ සාර්ථකත්වය සමරන විට බෙදා ගන්නා නිහඬ ආභිමානය තුළ එම බැඳීම පවතින බවද ඔහු ප්‍රකාශ කළා.

එවැනි බැඳීම් කෘතිමව නිර්මාණය කළ නොහැකි බව පෙන්වා දුන් මාලදිවයින් ජනාධිපතිවරයා ඒවා දැනිය යුතු, අත්විඳිය යුතු සහ අගය කළ යුතු බව අවධාරණය කර සිටියා.

ඉන්දියන් සාගරය පුරා දෝංකාර දෙන සත්‍යයක් වන්නේ ක්ෂිතිජය විශාල නමුත් එය සැමවිටම අහස සහ මුහුද යා කිරීම බව සඳහන් කළ මාලදිවයින් ජනාධිපතිවරයා මාලදිවයින්- ශ්‍රී ලංකා මිත්‍රත්වය ද බොහෝ දුරට විහිදෙන නමුත් සැමවිටම පොදු අරමුණක් සහ අන්‍යෝන්‍ය ගෞරවයක් ඇති තැනකදී එක් වන බවයි ප්‍රකාශ කළේ.

දෙරටේ අතීතය පිළිබඳ කෘතඥතාවයෙන්, වර්තමානය පිළිබඳ විශ්වාසයෙන් සහ දෙරටේ හවුල් අනාගතය පිළිබඳ බලාපොරොත්තුවෙන් යුතුව මෙම ක්ෂිතිජය දෙසට එක්ව ගමන් කිරීමට ආරාධනා කරන බවද මාලදිවයින සහ ශ්‍රී ලංකාව අතර පවතින සමීප මිත්‍රත්වය සහ සහයෝගීතාව අනාගතයේදී තව තවත් ශක්තිමත් වේවා!යි ප්‍රාර්ථනා කරන බවද ඔහු සිය කතාව අවසන් කරමින් පැවසුවා.

මාලදිවයින් ජනාධිපතිවරයා විශේෂ සටහනක් තබමින් රාජ්‍ය නායකයින්ගේ සමරු සටහන් පොතේ අත්සන් තැබීමද මෙහිදී සිදු කෙරුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හොරකම් කරලා තියෙනවනම් හිරේ දාන්න - දිලිත් පාර්ලිමේන්තුවට ඇවිත් සැරටම කිව්ව කතාව..
08:28
Video thumbnail
හොරා කෝ කෝ කියලා දැන් හොරාම හොයනවා
10:04
Video thumbnail
අපෙන් වැරදි වෙන්න පුළුවන් - කවුරුත් Perfect නෑනේ
04:46
Video thumbnail
කපිල චන්ද්‍රසේන ඇප මත මුදාහරියි..මූණත් වහගෙන ගැම්මට යන හැටි
01:18
Video thumbnail
කොන්ත්‍රාත්තු කාටද දුන්නේ කියලා අපි දන්නේ නෑ - අපි ඕවා ගැන බලන්නේ නෑ
12:05
Video thumbnail
හරීන් ප්‍රනාන්දු එළියට ඇවිත් හිනාවෙවී කිව්ව දේ.."වෙලාවක් එනකල් බලන් ඉන්නවා ඇත්තේ"
00:45
Video thumbnail
ලැජ්ජයි ලැජ්ජයි ලැජ්ජයි - නාමල් පාර්ලිමේන්තුව දෙවනත් කරයි
09:40
Video thumbnail
වසන්ත සැණකෙළියෙන් පසු නුවරඑළියට වෙලා තියෙන විනාශයක්..මෙහෙම මිනිස්සු ඉද්දි රටවල් හැදෙයිද ?
01:27
Video thumbnail
හර්ෂ ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්නම අමතයි
10:59
Video thumbnail
මේ බ#ලා මාව දැකලා හැංගුණා - කොන්ද පණ නැති ආණ්ඩුවක්
04:32