කොටගල වතු සමාගමට අයත් මේෆීල්ඩ් වතුයායේ කම්කරුවන් පිරිසක් අද (19) වැඩ වර්ජනයක් සිදු කර තිබෙනවා.
ඊට හේතුව ඇත්තේ පෙරේදා (16) දිනයේ දී තේ දළු නෙළමින් සිටි කාන්තාවකට බඹරුන් දෂ්ට කිරීමෙන් ඇය තුවාල ලබා සිටියදී රෝහලට රැගෙන යාම සඳහා වතු පරිපාලනය විසින් ගිලන් රථය ලබා නොදීම බවයි වාර්තා වන්නේ.
වතු කම්කරුවන් වැඩිදුරත් පවසන්නේ වතු පරිපාලනය විසින් නිසි පහසුකම් සහ සේවක ගෞරවය නොදෙන බවත්, මේ හේතුවෙන් කම්කරුවන් සහ පරිපාලනය අතර ගැටලු නිරන්තරයෙන් පවතින බවයි.
වතුයායේ පරිපාලනය වෙනස් කිරීමට කටයුතු කරන ලෙසට කම්කරුවන් වැඩිදුරටත් ඉල්ලා සිටිනවා.
මේ පිළිබදව වතු පරිපාලන අංශයෙන් විමසූ විට, ඔවුන් සඳහන්කර ඇත්තේ මෙම ගැටලුව සම්බන්ධයෙන් එළඹෙන නොවැම්බර් 24 වන දින හැටන් කම්කරු කාර්යාලයේදී සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බවත්, ඉන් අනතුරුව මෙම ගැටලුව සඳහා විසඳුම් ලබා දෙන බවයි.
කෙසේ වෙතත්, වතු කම්කරුවන් පවසා සිටින්නේ ගැටලුවට නිසි විසඳුමක් ලැබෙන තුරු ඔවුන් වැඩ වර්ජනය අත් නොහරින බවයි.















