විද්‍යා ඝාතන නඩුවේ අභියාචනා පෙත්සමේ තින්දුව ලබා දීම කල්තැබේ

2015 වසරේ මහත් ආන්දෝලනයකට තුඩු දුන් යාපනයේ පාසල් සිසුවියක වූ සිවලෝගනාදන් විද්‍යා දැරිය පැහැරගෙන ගොස් දූෂණය කර මරා දැමීමේ චෝදනාව සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වී සිටින විත්තිකරුවන් විසින් එම දඬුවමට එරෙහිව ඉදිරිපත් කළ අභියාචනා පෙත්සම් විභාගය අවසන් කෙරුණා.

අදාළ චෝදනාව සම්බන්ධයෙන් වරදකරු වී මරණය දණ්ඩනය නියම වී සිටින මහාලිංගම් ශසිකුමාර් හෙවත් ස්වීස් කුමාර් ඇතුළු පූබාලසිංහම් ජෙයකුමාර්, පූබාලසිංහම් තවකුමාර්, මහාලිංගම් ශසිදරන්, තිලේනාදන් චන්ද්‍රහාසන්, ශිවදේවන් දුෂාන්ත් සහ ජෙයදරන් කෝකිලන් නැමැති විත්තිකරුවන් විසින් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සම් විභාගය මෙලෙස අවසන් කරනු ලැබුවා.

ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් එහි තීන්දුව ලබාදීම පසුවට කල් තබා තිබෙනවා.

අගවිනිසුරු ප්‍රීති පද්මන් සුරසේන, ප්‍රමුඛ, අචල වෙන්ගප්පුලි , ප්‍රියන්ත ප්‍රනාන්දු , මේනකා විජේසුන්දර , සම්පත් බී. අබේකෝන්, යන මහත්වරුන්ගේන් සමන්විත පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ මෙම පෙත්සම් විභාගය පැවැත්විණා.

2017 වර්ෂයේදි වව්නියාව මහාධිකරණය විසින් එකී විත්තිකරුවන් හට මරණ දඬුවම සහ වසර 30 සිරදඬුවම් නියම කෙරුණා.

වව්නියාව මහාධිකරණ විනිසුරු බාලේන්ද්‍රන් ශෂී මහේන්ද්‍රන්, ත්‍රීකුණාමළය මහාධිකරණ විනිසුරු අන්නාලිංගම් ප්‍රේමෂංකර් සහ යාපනය මහාධිකරණ විනිසුරු මානික්කවාසගර් ඉලංචේලියන් යන මහන්වරුන්ගෙන් සැදුම්ලත් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ලක් විසින් එකී නඩු තීන්දුව ලබා දෙනු ලැබුවා.

ඉකුත් අගෝස්තු 25 වැනිදා නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී මෙහිදී විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුකරයට අදාළ දෙමළ භාෂා පරිවර්තන ලබා ගැනීම සඳහා වසර හතර හමාරකට වැඩි කාලයක් ගත වූ බවයි.

ඒ අනුව මෙම අභියාචනා විභාගය සඳහා කෙටි දිනයක් ලබාදෙන ලෙස විත්තියේ නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා.

මෙහිදී අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා සඳහන් කළේ, මෙම අභියාචනා කඩිනමින් විභාග කිරීම සඳහා කෙටි දිනයක් ලබාදෙන බවයි.

ඒ අනුව අදාළ අභියාචනා විභාගය සඳහා නොවැම්බර් මස 6 වැනි දා කැඳවන ලෙසත් විනිසුරු මඩුල්ල නියම කළ අතර ඊයේ (6) නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී විනිසුරු මඩුල්ල නියෝග කළේ පෙත්සම් විභාගය අවසන් කරන බවත් තීන්දුව පසුවට දැනුම් දෙන බවයි.

2015 වසරේ මාර්තු මස 3 වනදා පාසල් ගොස් ආපසු එමින් සිටියදී සිවලෝගනාදන් විද්‍යා නමැති 18 හැවිරිදි පාසල් සිසුවියක් පැහැරගෙන ගොස් දුෂණය කර මරා දැමීමේ චෝදනාවට වරදකරුවන් කෙරුණු “ස්විස් කුමාර්” ඇතුළු විත්තිකරුවන් 07 දෙනකුට යාපනය මහාධිකරණය විසින් 2017 වසරේ දී මරණීය දණ්ඩනය පනවනු ලැබුවා.

විත්තිකරුවන්ට මරණීය දණ්ඩනය පනවා තිබෙන ආකාරය නීතියට පටහැනි බවත් එබැවින් ඔවුන්ට එම චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරන ලෙසත් ඉල්ලා ඔවුන් සිය නීතිඥවරු මාර්ගයෙන් මෙම අභියාචනා පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.

මෙම සිද්ධියට අදාළව මරණීය දණ්ඩනය නියම වී සිටින ප්‍රධාන විත්තිකරු වන මහාලිංගම් ශෂී කුමාර් හෙවත් ස්විස් කුමාර් නමැත්තා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ දර්ශන කුරුප්පු මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් විද්‍යා දැරිය පැහැරගෙන යාම, දූෂණය කිරීම සහ මරාදැමීම සඳහා කුමන්ත්‍රණය කළ බවට සිය සේවා දායකයා වෙත පැමිණිල්ල විසින් එල්ල කළ චෝදනා පදනම් විරහිත බව සඳහන් කළා.

සිය සේවාදායකයා විද්‍යා දැරිය පැහැර ගෙන යාමට සම්බන්ධ වූ බවට තහවුරු කෙරෙන කිසිදු සාක්ෂියක් නඩු විභාගයේදී ඉදිරිපත් නොවූ බවත් ඔහු පැවසුවා.

මෙම නඩු විභාගයේදී විද්‍යා දැරියගේ මව සහ අසල්වැසියෙකු වන ඉලංකේෂ්වරන් යන අය දුන් සාක්ෂි එකිනෙකට පරස්පර බව නීතිඥවරයා පෙන්වා දුන්නා.

සිද්ධිය වූ දින විද්‍ය දැරිය පා පැදියෙන් පංති ගිය බව ඇයගේ මව නඩු විභාගයේ දී සාක්ෂි දෙමින් ප්‍රකාශ කර තිබුණද ඉලංකේෂ්වරන් නමැත්තා සාක්ෂි දෙමින් සඳහන් කළේ ඇය බස් රථයෙන් පංති යනු තමා දුටු බවයි.

ඒ අනුව එම සාක්ෂිකරුවන් ලබා දූන් සාක්ෂි වල පරස්පර භාවය මනාව පැහැදිලි වන බවත් ඔහු පෙන්වා දුන්නා.

මෙම දූෂණ සිද්ධිය වීඩියෝ ගත කළ බවට ප්‍රකාශ කළත් ඊට අදාළ සාක්ෂි ඉදිරිපත් වී නොමැති බවත් ඔහු කියා සිටියා.

එම අවස්ථාවේදී නැගී සිටි නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් අසාද් නවාවි මහතා ප්‍රකාශ කළේ, විද්‍යා දැරිය දූෂණ කිරීමේ මූලික අරමුණ එම සිද්ධිය වීඩියෝ ගත කර ස්විටර්ලන්තයේ මාෆියා කණ්ඩායමකට විකිණීම බවයි.

එහිදී විනිසුරු අචල වෙංගප්පුලි මහතා විත්තියේ නීතිඥවරයා වෙත ප්‍රශ්නයක් යොමු කරමින් “ඔබේ සේවාදායකයා රුපියල් මිලියන 20ක් ලබා දී මෙම චෝදනාවලින් ගැලවී යාමට උත්සාහ කර ඇති බවට තොරතුරු වාර්තා වුණා” නොවේ දැයි විමසා සිටියා.

එම අවස්ථාවේදී අතිරේක සොලිසිටර් ජෙනරාල් අසාද් නවාවි මහතා සඳහන් කළේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය මගින් වරදකරු වී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකු සිරගත වී සිටින බවයි.

ඉන් අනතුරුව සෙසු සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුද අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කළේ සිය සේවා දායකයින්ට එරෙහි චෝදනාවලින් ඔවුන් නිදොස් කොට නිදහස් කරන ලෙසයි.

ඉන් අනතුරුව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් අසාද් නවාවි මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් විත්තිකරුවන් විසින් මෙම කෲර සමූහ දූෂණය සිදු කළේ මුදල් ලබා ගැනීමේ අරමුණින් බව කියා සිටියා.

මෙම සමූහ දූෂණ සිද්ධිය වීඩියෝ ගතකර අතිවිශාල මුදලකට ස්විටර්ලන්තයේ මාෆියා කණ්ඩායමකට අලෙවි කිරීම විත්තිකරුවන්ගේ අරමුණ වී ඇති බවත්, ඊට සුවිස් කුමාර් නමැති විත්තිකරු නායකත්වය ලබා දී ඇති බවත් ඔහු සඳහන් කළා.

එමනිසා මෙම විත්තිකරුවන්ට එරෙහි චෝදනා ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු වී ඇති බවත්, ඔවුන්ට නියම කර තිබෙන දඬුවම් නීත්‍යානුකූල බවත් සඳහන් කළ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා විත්තිකරුවන්ගේ අභියාචනා පෙත්සම් නිෂ්ප්‍රභ කරන ලෙසත් ඉල්ලා සිටියා.

සියලු පාර්ශව ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල පෙත්සම් විභාගය අවසන් කරනු ලැබුවා.

ඉන් අනතුරුව මෙම අභියාචනා පෙත්සම් පිළිබඳ තීන්දුව ප්‍රකාශයට පත් කිරීම දින නියමයක් නොමැතිව කල් තබන බවත් විනිසුරු මඩුල්ල නියෝග කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya| හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
00:00
Video thumbnail
ත්‍රීරෝද රථයක් උඩට පයිනස් ගසක් වැටී සිදුවූ බිහිසුණු අනතුර - "සද්දේ ආපු ගමන් මං පුතා ඉන්නවද බැලුවේ"
02:17
Video thumbnail
මත් කුඩු ජාවාරම මෙහෙයවූ පහලොස් හැවිරිදි පාසල් සිසුවෙක් කොටු - බඩුත් එක්කම සිසුවා අත්අඩංගුවට
01:15
Video thumbnail
වසර 42 කට පසු කලාවැවේ ජල කාන්දුව වසන්න සුසිල් යයි - බය වෙන්න එපා කිසි හානියක් වෙන්නේ නෑ
10:18
Video thumbnail
හැටන් - නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ අවධානම් ගස් ක#පා දමයි
01:07
Video thumbnail
නිවසට පැන්න සොරාට ගමම එකතුවෙලා ගුටි පූජාවක් දෙයි
01:09
Video thumbnail
මහ පාර මැද යකා නටපු කතුන් දෙන්නගේ වලිය
00:35
Video thumbnail
අනුර තෙන්නකෝන්ගෙන් 15 හැවිරිදි සූර්යවංශිට උපදෙසක්
00:41
Video thumbnail
අපේ මහින්ද මහත්තයාගේ කාලයේ මෙහෙම නෑ
00:48
Video thumbnail
බිලියන ගණනක ඔට්ටු අල්ලන ෆිෆා ලෝක කුසලානය
01:29