බැංකු ගිණුමක තිබූ රුපියල් 569,610 (පන් ලක්ෂ හැටනව දහස් හයසිය දහය) ක මුදලක් වංචා කිරීම සම්බන්ධව පසුගිය වසරේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වයඹ පළාත් පරිගණක අපරාධ විමර්ශන අංශය වෙත ලැබුණු පැමිණිල්ලක් මත සිදුකළ විමර්ශනයක් මඟින් සැකකරුවන් සිව්දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා .
ඊයේ (14) දින, එම විමර්ශන නිලධාරින් විසින් මුදල් වංචා කිරීම, සාවද්‍ය පරිහරණය සහ විශ්වාසය කඩ කිරීම යන චෝදනාවලට සම්බන්ධ සැකකරුවෙක් සහ ඊට ආධාර අනුබල දුන් සැකකරුවන් තිදෙනෙක් මුරුතලාව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසනවා.
මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 30 සහ 38 වයස්වල පසුවන්නන් බවයි වාර්තා වන්නේ.
වෙබ් අඩවියක පල කර තිබූ ජල මෝටරයක් විකිණීමට අදාළ දැන්වීමක් අනුව සැකකරුවන් විසින් එය මිලදී ගන්නා බවට හඟවමින් විකුණුම්කරුට අත්තිකාරම් මුදලක් තැන්පත් කරන මුවාවෙන් ඔහුගේ බැංකු ගිණුමට සම්බන්ධිත OTP අංකය ලබාගෙන මෙම මුදල් වංචා කිරීම සිදුකර ඇති බවට සිදු කරන ලද විමර්ශයේදී අනාවරණය වී තිබෙනවා.
සැකකරුවන් අද (15) වාරියපොල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇති අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වයඹ පළාත් ඒකකයේ පරිගණක අපරාධ විමර්ශන අංශය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.





