බැකෝ සමන්ගේ බිරිඳ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ රක්ෂිත බන්ධනාගාරයට

රිමාන්ඩ් භාරයේ පසුවන බැකෝ සමන් නමැත්තාගේ බිරිඳ වන ශාධිකා ලක්ෂානී පත්තිනිගේ නමැත්තියට සහ ඇයගේ සමීපතයින්ට අයත් බැංකු ගිණුම් 13ක් තහනම් කිරීමට පියවර ගෙන ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබෙනවා.

මෙම පැමිණිල්ල අද (09) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස් බෝදරගම මහතා ඉදිරියේ කැඳවනු ලැබු අවස්ථාවේදී, විමර්ශන සිදු කරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් සුහර්ෂි හේරත් මෙම දැනුම්දීම සිදු කළා.

මෙම පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී රිමාන්ඩ් භාරයේ පසුවන ශාධිකා ලක්ෂානී නමැත්තිය දැඩි ආරක්ෂක විධිවිධාන මැද අධිකරණයට ඉදිරිපත් කළා.

එහිදී විමර්ශන සිදුකරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් සුහර්ෂි හේරත් අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සැකකාරිය මත්ද්‍රව්‍ය පනතේ 54 වන වගන්තිය සහ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ අධිකරණයට ඉදිරිපත්කර ඇති අතර ඇය මත්ද්‍රව්‍ය ජාවාරම තුළින් අතිවිශාල මුදලක් උපයාගෙන තිබෙන බවට විමර්ශනවලදී කරුණු අනාවරණය වී ඇතැයි සඳහන් කළා.

මෙම සැකකාරියගේ සහෝදරිය වන ලක්ෂානි දේශාංජලී පත්තිනිගේ නමැත්තියගේ බැංකු ගිණුම් දෙකක 2024 වසරේ රුපියල් ලක්ෂ 563ක මුදලක් සහ 2025 වසරේ රුපියල් ලක්ෂ 202ක් මුදලක් සංසරණය වී ඇති බවට විමර්ශනවලින් කරුණු අනාවරණය වී ඇතැයි ද ඇය පැවසුවා.

මෙම සැකකාරියගේ පියා වන පත්තිනිගේ සුනිල් ශාන්ත පත්තිනිගේ නමැත්තාගේ බැංකු ගිණුමේ රුපියල් ලක්ෂ 211ක් මුදලක් සංසරණය වී ඇතැයි සඳහන් කළ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය වෘත්තියෙන් ගඩොල් කපන්නෙකු වන මෙම පුද්ගලයාගේ බැංකු ගිණුමේ මෙතරම් විශාල මුදලක් සංසරණය වූයේ කෙසේදැයි බරපතළ සැකයක් මතුවන බවත් සඳහන් කළා.

මත්ද්‍රව්‍ය ජාවාරම හරහා මෙම මුදල් සංසරණය වන්නට ඇතැයි සැකකරන පොලීසිය එම මුදල් තැන්පත් කළ පුද්ගලයින් හා ඒ හා සම්බන්ධ ජාලය පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරන බවත් පෙන්වා දුන්නා.

මෙම සැකකාරිය මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ බවට තහවුරු කෙරෙන ප්‍රකාශ තුනක් මේ වනවිට පොලීසිය විසින් සටහන් කරගෙන ඇති බවත් පසුගිය කාලයේ ඇඹිලිපිටිය ප්‍රදේශයේ හෙරෝයින් මත්කුඩු කිලෝ 38කට ආසන්න ප්‍රමාණයක් සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ මහාධිකරණ හමුවේ විභාග වන නඩුවේ රිමාන්ඩ් භාරයේ පසුවන විත්තිකරුවන් දෙදෙනාගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට අවසර දෙන ලෙසත් ඇය අධිකරණයෙන් ඉල්ලා සිටියා.

ඊට අමතරව ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි අංශයේ දැනුම් දීම මත මෙම සැකකාරියට සහ ඇයගේ සමීපතමයින්ගේ බැංකු ගිණුම් 13ක් මහාධිකරණ නියෝග මත තහනම් කර ඇතැයි සදහන් කළ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය ඒ අතර මෙම සැකකාරියගේ බැංකු ගිණුම් 05ක් ඇතුළත් වන බවත් සඳහන් කළා.

මෙහිදී මහේස්ත්‍රාත්වරයා ප්‍රශ්නයක් මතු කරමින්, මෙම සැකකාරියට අයත් විදේශීය බැංකු ගිණුම් පිළිබඳ විමර්ශන සිදුකර තිබේදැයි විමසුවා+.

ඊට පිළිතුරු දුන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය මෙම සැකකාරිය සතු විදේශීය බැංකු ගිණුම් හතරක් ඩුබායි රාජ්‍යයේ පවතින බවට තොරතුරු අනාවරණය වී ඇති බවත් එම බැංකු ගිණුම්වල අංක මේ දක්වා සොයාගෙන නොමැති බවත් අධිකරණයට දැනුම් දෙනු ලැබුවා.

මෙහිදී මහේස්ත්‍රාත්වරයා විසින් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය වෙත ප්‍රශ්නයක් යොමු කරමින් ” ඔබ බැංකු ගිණුම් 13ක් තහනම් කළ බව සඳහන් කළා. එහෙත් අද පොලීසිය ඉදිරිපත් කළ වැඩිදුර වාර්තාවේ සඳහන් කර තිබෙනනේ බැංකු ගිණුම් 06ක් පමණයි. ඇයි එහෙම වුණේ?” යනුවෙන් විමසුවේය.

ඊට පිළිතුරු දුන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය ” ස්වාමීනි…එම බැංකු ගිණුම් 13 පිළිබඳ විස්තර වැඩිදුර වාර්තාවට ඇතුළත් කරන ලෙස අපි පොලීසියට උපදෙස් ලබා දුන්නා” යනුවෙන් කියා සිටියාය.

එහිදී මහේස්ත්‍රාත්වරයා කරුණු දක්වමින් කියා සිටියේ “බැංකු ගිණුම් 13ක් තහනම් කළා නම් ඒක වාර්තාවට ඇතුළත් කළ යුතුව තිබුණා. මොකද ඒක වැදගත් කාරණයක් ” යනුවෙනි.

මෙම සිද්ධියට අදාළව වැඩිදුර විමර්ශන සිදුකරන බැවින් මෙම සැකකාරිය රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් සුහර්ෂි හේරත් මහත්මිය වැඩිදුරටත් අධිකරණයෙන් ඉල්ලා සිටියාය.

ඉන් අනතුරුව සැකකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින්, මෙම සැකකාරිය මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ දැයි සොයා බලා සාක්ෂි සම්පිණ්ඩනයක් ඉදිරිපත් කරන ලෙස ඉකුත් නඩු දිනයේ අධිකරණය නියෝග කළත් අද දින පොලීසිය විසින් එවැනි සාක්ෂි කිසිවක් අධිකරණයට ඉදිරිපත් කර නොමැති බව සඳහන් කළේය.

ඒ අනුව සැකකාරිය තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට තරම් සාක්ෂි ඉදිරිපත් වී නොමැති බවත් එම නීතිඥවරයා පෙන්වා දුන්නා.

දෙපාර්ශවය ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේ මෙම සැකකාරිය මත්ද්‍රව්‍ය පනත යටතේ නොව මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ ඉදිරිපත් වූ කරුණු සලකා බලා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කරන බවය.

මෙම සැකකාරිය මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ වී ඇති ආකාරය පිළිබඳව විමර්ශන සිදුකර මීළඟ නඩු දිනයේ අධිකරණයට වාර්තා ඉදිරිපත් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා, එතෙක් සැකකාරිය ලබන 23 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් නියෝග කළේය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චාමර සම්පත්ව හිරගෙට රැගෙන යන වෙලාවේ අහසත් හඬා වැටෙයි
00:34
Video thumbnail
ලියලා තියාගන්න.. තව අවුරුද්දකින් ආණ්ඩුවට වෙන දේ බලන්න
05:26
Video thumbnail
ජාත්‍යන්තර රූ රැජින වේදිකාව ජයගත් නෙතකි යළි මව්බිමට පැමිණෙයි
01:00
Video thumbnail
කොළඹට කඩාවැටුණු මහ වැස්සෙන් පාරවල් රැසක් යටවෙයි
00:42
Video thumbnail
මගේ සපෝට් එකට කවුරුත් නෑ.. මන් එන්නේ තනියම, තමන්ට තමන් විතරයි
01:16
Video thumbnail
ජනාධිපතිතුමා ජාති භේදයක් ඇතිකරලා බුද්ධාගමට විශාල හානියක් කරන්න හදනවා
04:55
Video thumbnail
ජනාධිපතිතුමා පච කීමෙන් චේතීය රජතුමාවත් පරාජය කරලා ඉන්නේ
04:07
Video thumbnail
සජබයේ සෙට් එක අස්ගිරි මහානාහිමිත් බැහැදැක ආශිර්වාද ලබාගනී
00:57
Video thumbnail
චාමර සම්පත්ව අධිකරණයට රැගෙන ගිය හැටි
00:47
Video thumbnail
මල්වතු මහනාහිමි සජබයේ ලොක්කන්ට කට උත්තර නැතිවෙන්නම දීපු හැටි
13:05