එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වන සැසිවාරයට සහභාගි වීම සඳහා නිව්යෝර්ක් නුවරට පැමිණි ජනාධිපති අනුර කුමාර දිසානායක සහ එක්සත් ජාතීන්ගේ මහලේකම් අන්තෝනියෝ ගුටේරෙස් අතර හමුවක් නිව්යෝර්ක් නුවර එම මූලස්ථානයේදී ඊයේ (25) පස්වරුවේ පැවැත් වුණා.
ඒ, අනුව එක්සත් ජාතීන්ගේ මූලස්ථානය වෙත පැමිණි ජනාධිපතිවරයාව මහලේකම්වරයා විසින් ගෞරවයෙන් යුතුව පිළිගනු ලැබුවා.
අනතුරුව ඔවුහු සුහද කතාබහකට ද එක් වුණා.
ශ්‍රී ලංකාවේ නව ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේ ප්‍රගතිය මෙන්ම සමාජයීය සහ දේශපාලනමය වශයෙන් ශ්‍රී ලංකාව නව තලයකට ඔසවා තැබීම වෙනුවෙන් මේ වන විට රජය ක්‍රියාත්මක කරමින් ඇති වැඩපිළිවෙළ පිළිබඳව ද ජනාධිපතිවරයා මෙහිදී එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා දැනුවත් කළා.
ශ්‍රී ලංකා රජයේ නව ප්‍රගතිශීලි වැඩපිළිවෙළ මෙහිදී අගය කළ මහලේකම්වරයා, ඒ වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙනී සිටින බවත්, ඊට පූර්ණ සහයෝගය පළ කරන බවත් ප්‍රකාශ කර සිටියා.
මෙම අවස්ථාව සඳහා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත, හිටපු අගවිනිසුරු ජනාධිපති නීතිඥ ජයන්ත ජයසූරිය යන අය සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ද එක්ව සිටියා.















