මෙරට රැඳී සිටිමින් ව්‍යාපාර කටයුතු සිදුකරගෙන ගිය චීන ජාතිකයෙක්, චීන ජාතික කල්ලියක් විසින් පැහැරගැනීමේ සිදුවීමක් වාර්තා වුණා.
පසුගිය 22 වනදා රාත්‍රියේ කොල්ලුපිටිය ප්‍රදේශයේ දී මෙම චීන ජාතිකයාව මෙලෙස පැහැරගෙන ගොස් තිබෙනවා.
වෑන් රථ දෙකකින් පැමිණි චීන ජාතිකයින් අටදෙනෙක් විසින් ව්‍යාපාරික ස්ථානයේ රැඳී සිටි මෙම චීන ජාතිකයාව පැහැරගෙන ගොස් ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.
පැහැරගැනීමට ලක්වූ චීන ජාතිකයාගේ දෑස් සහ අත්පා බැඳ පැයකට ආසන්න කාලයක් වාහනයකින් යම් ස්ථානයකට ගෙන ගොස් අමානුෂික ලෙස ඔහුට පහර දී ඇති බවයි වාර්තා වුණේ.
එහිදී මෙම පැහැරගැනීම සිදුකළ චීන ජාතිකයින්ගෙන් සැදුම්ලත් කල්ලිය, අදාළ චීන ජාතිකයාට පහර දී ඔහුගේ බැංකු ගිණුමෙන් රුපියල් කෝටිකට අධික මුදලක් වෙනත් ගිණුමකට ගිණුම්ගත කරගෙන තිබෙනවා.
අනතුරුව පැහැරගැනීමට ලක්වූ චීන ජාතිකයාව ඊයේ (23) දහවල් මාර්ගයකට දමා ගොස් සිටිය දී සොයාගෙන ඇති අතර, පැහැරගැනීමට ලක්වූ එම චීන ජාතිකයා බරපතළ තත්ත්වයෙන් කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කිරීමෙන් පසු මේ වනවිට එහි ප්‍රතිකාර ලබනවා.
ඔහු පවසන්නේ චීන ජාතිකයින්ගෙන් සැදුම්ලත් කල්ලියක් විසින් මීට පෙර අවස්ථාවලදී ද චීන ජාතිකයින් මෙලෙස පැහැරගෙන ගොස් මෙවැනි ආකාරයේ දරුණු වද හිංසා සිදුකර ඇති බවයි.
මේ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් කොල්ලුපිටිය පොලිසියෙන් සිදුකළ විමසීමක දී එහි උසස් නිලධාරියෙක් සඳහන් කළේ මෙම සිදුවීම සම්බන්ධයෙන් විමර්ශන අරඹා ඇති බවත්, පැහැරගැනීමට ලක් වූ කියන චීන ජාතිකයාගෙන් ද පොලිස් නිලධාරීන් රෝහලට ගොස් ප්‍රකාශ සටහන් කරගත් බවයි.















