මාර්ග රාජකාරියේ නියතුව සිටි එප්පාවල පොලීසියේ රථවාහන අංශයේ සැරයන්වරයෙක් අනතුරට පත් කර යතුරුපැදියක පැමිණි බාලවයස්කාරයින් දෙදෙනෙකු පලා යාමේ සිද්ධියක් අද (19) එප්පාවල ප්‍රදේශයෙන් වාර්තා වුණා.
අදාළ නිලධාරියා විසින් අංක තහඩු රහිත යතුරුපැදියක හිස් ආවරණ නොමැතිව පැමිණි පුද්ගලයන් දෙදෙනෙක් නැවත්වීමට යාමේදී පොලිස් අණ නොතකා එම යතුරුපැදිය ඉදිරියට ධාවනය කර ඇති අතර එම අවස්ථාවේදී සැරයන්වරයා අනතුරට පත්ව තිබෙනවා.
පසුව එම නිලධාරියා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති අතර ඔහුගේ අතකට සහ කකුලකට දැඩි තුවාල සිදු වී ඇති බව රෝහල් ආරංචි මාර්ග පවසනවා.
කෙසේ වෙතත් අදාළ සැකකරුවන් දෙදෙනා සහ යතුරුපැදිය එප්පාවල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර යතුරුපැදිය පදවා ඇත්තේ බාලවයස්කරුවෙක් බවට අනාවරණය වී තිබෙනවා.
යතුරුදිය පැදවූ වූ සැකකරුද අනතුර හේතුවෙන් සුළු තුවාල ලබා ඇති අතර ඔහුවද එප්පාවල රෝහලට ඇතුළත් කර ඇති අතර ඔහු පැදවූ යතුරුපැදියට රක්ෂණ සහතික සහ ආදායම් බලපත්‍රද නොමැති බව පොලිසිය පවසා සිටිනවා.





