ශ්‍රී ලංකා රේගුවේ නිෂ්කාශනය නොවී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ අනීතික ලෙස ලියාපදිංචි වී ඇති මෝටර් රථයක් සඳහා අංක තහඩුවක් නිකුත් කිරීම සඳහා අනුමැතිය දීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනෙකු හා සැකකාරියක් ඇප මත මුදාහරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළා.
අල්ලස් කොමිසම මඟින් අත්අඩංගුවට ගත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය කොමසාරිස්වරියක සහ එම දෙපාර්තමේන්තුවේ කළමනාකාර සහකාරවරු දෙදෙනකු කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලී ජයතුංග මහත්මියගේ නිල මැදිරියට ඉදිරිපත් කළා.
මෙහිදී සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණය හමුවේ ඉල්ලීමක් කරමින් තම සේවාදායකයින් ඇප මත මුදා හරින ලෙස ඉල්ලා සිටිටි අතර, අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරන බව කියා සිටියා.
කෙසේවෙතත් ඉදිරිපත් වූ කරුණු සලකා බලා එක් එක් සැකකරු රුපියල් මිලියන දෙක බැගින් වූ ශරීර ඇප මත මුදා හැරීමටත් ඔවුන්ගේ විදේශ ගමන් තහනම් කරන බවත් නියෝග කළා.















