සීතාවක ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා සහ උපසභාපතිවරයා තෝරා ගැනීමේ කටයුත්ත සඳහා රහස් ඡන්දයක් පැවැත්වීම වළක්වාලමින් බස්නාහිර පළාත් පාලන කොමසාරිස්වරිය වෙත අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කෙරුණු පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා මේ මස 09 වැනිදා කැඳවන ලෙස අභියාචනාධිකරණය දින නියම කර තිබෙනවා.
මෙම පෙත්සම අද (07) කැඳවූ අවස්ථාවේදී එහි වග උත්තරකරුවන් ලෙස නම් කර තිබූ බස්නාහිර පළාත් පාලන කොමසාරිස්වරිය ඇතුළු කිහිපදෙනෙකු වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් සුමති ධර්මවර්ධන මහතා අධිකරණයට දන්වා සිටියේ මෙම නඩුකරයට අදාළව තම සේවදායකයින් සීමිත විරෝධතා ගොනුකර තිබෙන බවයි.
ඒ අනුව, ප්‍රතිවිරෝධතා ඉදිරිපත් කිරීම සඳහා තමන්ට අවස්ථාව ලබාදෙන ලෙසත් ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා.
ඒ අනුව පෙත්සම්කාර පාර්ශ්වයට ද සීමිත විරෝධතා ඉදිරිපත් කිරීමට අවසර දුන් අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල මෙම කරුණු තහවුරු කිරීම සඳහා මේ මස 09 වැනිදා කැඳවන ලෙසත් නියෝග කළා.
සීතාවක ප්‍රාදේශීය සභාවේ බහුතර බලය හිමි මන්ත්‍රී කණ්ඩායම විසින් එම සභාවේ අභිනව සභාපතිවරයා සහ උප සභාපතිවරයා තෝරා පත්කර ගැනීම සඳහා බස්නාහිර පළාත් පාලන කොමසාරිස්වරිය රහස් ඡන්දයක් පැවැත්වීම ගන්නා උත්සාහය වැළැක්වීම සඳහා අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ගොනු කරනු ලැබුවා.
තමන්ට සභාවේ බහුතරය හිමි බව කියා සිටින එම මන්ත්‍රීවරුන් ජුනි 17 වැනි දින පැවති මංගල රැස්වීමේ දී සභාවේ සභාපතිවරයා හා උපසභාපතිවරයා තෝරා ගැනීම සඳහා කොමසාරිස්වරිය සතු බලය යොදා ගනිමින් රහස් ඡන්දයක් පැවැත්වීමට කොමසාරිස් සාරංගිකා ජයසුන්දර මහත්මිය ගත් තීරණය නිවැරදි නොවන බැවින් ඊට විරෝධය පළකරමින් මන්ත්‍රීවරුන් 24 දෙනකු සභා ගර්භයෙන් පිටව ගිය බවත්, එහි ප්‍රතිඵලයක් ලෙස ගණපූරණය නොමැති වීමෙන් එදින සභාපති හා උපසභාපති තෝරා පත්කර ගැනීමට නොහැකි වූ බවත් පෙත්සම්කරුවෝ කියා සිටිනවා.
ඇති වූ තත්ත්වය මත සීතාවක ප්‍රාදේශීය සභාව දින නියමයක් නොමැතිව කල් තැබීමට කොමසාරිස්වරිය කටයුතු කළ බව
පෙන්වා දෙන පෙත්සම්කරුවන් අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටින්නේ බස්නාහිර පළාත් පළාත් පාලන කොමසාරිස් සාරංගිකා ජයසුන්දර ඇතුළු වගඋත්තරකරුවන් සීතාවක ප්‍රාදේශීය සභාවේ සභාපති සහ උපසභාපතිවරයා තෝරා ගැනීම සඳහා රහස් ඡන්දයක් පැවැත්වීමට ගන්නා උත්සාහය වළකාලමින් අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසයි.















