කීරි සම්බා සඳහා ආදේශක සහල් මෙට්‍රික් ටොන් 40,000ක් ආනයනයට නිර්දේශ

කීරි සම්බා සහල් ප්‍රමාණවත්ව මෙරට වෙළඳපොළ තුළ නොමැති බවට ශ්‍රී ලංකා පාරිභෝගික සේවා අධිකාරය විසින් කරන ලද කරුණු දැක්වීම පදනම් කරගනිමින් කීරි සම්බා සඳහා ආදේශක සහල් මෙට්‍රික් ටොන් 40,000ක් ආනයනය කිරීමට ආහාර ප්‍රතිපත්ති හා සුරක්ෂිතතා කමිටුව නිර්දේශ කර තිබෙනවා.

ඉන් මෙට්‍රික් ටොන් 5,000 ක් රජයේ ආයතන මගින් ද සෙසු සහල් ප්‍රමාණය පෞද්ගලික අංශය මගින් ද ආනයනය කිරීමට තීරණය වී තිබෙන බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.

රටේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීම සම්බන්ධයෙන් ප්‍රතිපත්තිමය තීන්දු තීරණ ගැනීම සඳහා එම කමිටුව ඊයේ (25) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී රැස් වූ අවස්ථාවේදී මෙම තීරණයට එළැඹුණා.

පුරවැසියන්ගේ ආහාර අවශ්‍යතාව සපුරාලීම මෙන්ම, දේශීය නිෂ්පාදකයා ආරක්ෂා කර ගැනීමේ වැදගත්කම වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා මෙහිදි පෙන්වා දුන්නා.

ඒ අනුව, දේශීය ගොවියා ආරක්ෂා කර ගැනීම සඳහා කීරි සම්බා වී කිලෝවක් රුපියල් 120ක මිලකට වී අලෙවි මණ්ඩලයෙන් හා සතොස ආයතනයෙන් මිලදී ගැනීමේ කාර්යය අඛණ්ඩව පවත්වාගෙන යාමට ද තීරණය කෙරුණා.

ත්‍රිපෝෂ නිෂ්පාදනය සඳහා අවශ්‍ය බඩඉරිගු ගබඩා කිරීමේ පහසුකම් ඇති කිරීම මෙන්ම, බියර් සහ සත්ව ආහාර නිෂ්පාදන සඳහා සහල් හෝ කැඩුණු සහල් හෝ විකල්ප අමුද්‍රව්‍ය ආනයනය කිරීම පිළිබඳව ද මෙහිදී කතිකාවට බඳුන් කෙරුණා.

පාරිභෝගික අවශ්‍යතාවට අනුව බඩඉරිඟු නිෂ්පාදනය, ටින් මාළු, බිත්තර සහ මාංශ නිෂ්පාදනය සහ ලුණු ආනයන කටයුතු පිළිබඳව මෙම සාකච්ඡාවේදී අවධානය යොමු වුණා.

පොහොර ආනයනය, තොග පවත්වා ගැනීම, සැපයීම සහ බෙදාහැරීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරුණු අතර, යල කන්නය සඳහා පොහොර බෙදා දීමේ ප්‍රගතිය, ඔඩපන ණය නිකුත් කිරීමේ ප්‍රගතිය සහ යල කන්නයේ වගා කටයුතුවල සාර්ථකත්වය ද මෙහිදී සමාලෝචනයට ලක් කෙරුණා.

අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් කපිල ජනක බණ්ඩාර අමාත්‍යාංශ ලේකම්වරුන්, දෙපාර්තමේන්තු හා ආයතන ප්‍රධානීන්ගෙන් සමන්විත ආහාර ප්‍රතිපත්ති සහ සුරක්ෂිතතා කමිටුවේ සෙසු සාමාජිකයෝද මෙම අවස්ථාවට එක්ව සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?