දෙමාපියන් අහිමි වීම, භාරකාරිත්වය අහිමි වීම, මව සහ පියා යන දෙදෙනාම හෝ ඉන් එක් අයෙකුගේ හෝ භාරකාරිත්වය යටතේ සිටියද, ජීවත් වන නිවස තුළ නිසි රැකවරණය සහ ආරක්ෂාව නොමැති දරුවන්ට මෙන්ම අනාථ හා අත්හරිනු ලැබූ දරුවන්ට රැඳවුම් නිවාස/ළමා සංවර්ධන මධ්‍යස්ථාන තුළ ආයතනික රැකවරණය ලබා දෙනු ලබනවා.
2024 වර්ෂය අවසාන වන විට රජය, ස්වේච්ඡා සංවිධාන හා රාජ්‍ය නොවන සංවිධාන මගින් රට පුරා පවත්වාගෙන යනු ලබන ළමා සංවර්ධන මධ්‍යස්ථාන 356ක ළමුන් 9,191ක් පමණ නේවාසිකව රැකවරණය ලබමින් සිටින බව වාර්තා වී ඇති බවයි රජය පවසන්නේ.
ආයතනික රැකවරණය හා භාරකාරිත්වයේ සිටින ළමුන් සහ වීදි ළමුන් සඳහා මාසිකව රුපියල් 5,000/-ක දීමනාවක් ලබා දීම සඳහා රුපියල් මිලියන 1,000ක ප්‍රතිපාදන 2025 වර්ෂය සඳහා වන අයවැය මගින් වෙන් කෙරුණා.
ඒ අනුව, යෝජිත ජීවන වියදම් දීමනාව පහත සඳහන් පරිදි ගෙවීමටත්, එම වැඩසටහන තිරසරව හා ඵලදායීව පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය මග පෙන්වීම සහ පසුවිපරම් කටයුතු සඳහා කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශයේ ලේකම්ගේ සභාපතිත්වයෙන් සහ අනෙකුත් අදාළ ආයතනවල නිලධාරින්ගෙන් සමන්විත ජාතික මෙහෙයුම් කමිටුවක් පත් කිරීමටත් කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යවරිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරනු ලැබුවා.
ඒ අනුව්ව;
- රුපියල් 5,000/-ක ජීවන වියදම් දීමනාවෙන් රුපියල් 3,000/-ක් භාරකාරිත්වය යටතේ සැලසිය යුතු අධ්‍යාපන, සෞඛ්‍ය සහ අනෙකුත් සුබසාධන වියදම් වෙනුවෙන් ළමයා රැඳී සිටින සංවර්ධන මධ්‍යස්ථානයට හෝ භාරකාරිත්වය දරන්නාට ජාතික ඉතිරිකිරීමේ බැංකුව හරහා ලබා දීම.
- ඉතිරි රුපියල් 2,000/-ක මුදල දරුවාගේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ දරුවාගේ නමින් වූ ඉතිරි කිරීමේ ගිණුමක මාසිකව තැන්පත් කිරීම මේ අතර වනු ඇති.




