අබුඩාබි ජාතික තෙල් සමාගමේ නියෝජිතයන් හා බලශක්ති අමාත්‍යවරයා අතර සාකච්ඡාවක්

අබුඩාබි ජාතික තෙල් සමාගමේ නියෝජිතයන් සහ බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි, කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු අය අතර සාකච්ඡාවක් අද (30) ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත් වුණා.

දෙරට අතර ඛනිජ තෙල් කර්මාන්තය සම්බන්ධයෙන් වූ සැපයුම් සහ ආයෝජන අවස්ථා හඳුනාගෙන ඉදිරි ව්‍යපෘති ක්‍රියාත්මක කිරීමට අදාළ මූලික කටයුතු පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරුණා.

ශ්‍රී ලංකාවට අවශ්‍ය බොර තෙල් දීර්ඝ කාලීනව සාධාරණ මිලකට ලබාගැනීමට දෙරට අතර කඩිනම් ගිවිසුමක් ඇතිකර ගැනීම මෙන්ම මෙරට තෙල් පිරිපහදු කටයුතු සංවර්ධනය සහ ඒ මඟින් කලාපීය පිරිපහදු ඛනිජ තෙල් වෙළදපොළ තුළ සැලකිය යුතු පංගුවක් අත්පත් කර ගැනීම පිළිබඳව ද සාකච්ඡාවට බඳුන් වී තිබෙනවා.

ශ්‍රී ලංකාවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපති ඛලීඩ් නසර් අල් අමේරි සහ අබුඩාබි ජාතික තෙල් සමාගමේ ජ්‍යෙෂ්ඨ උප සභාපති අබ්දුල්ලා අල් කුබායිසි ඇතුළු විධායක නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.