ජනාධිපති අනුර කුමාර දිසානායක සහ එක්සත් ජනපද ඉන්දු-පැසිෆික් විධානයේ (INDOPACOM) අණදෙන නිලධාරි අද්මිරාල් සැමුවෙල් ජේ. පපාරෝ අතර හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (21) පැවැත් වුණා.
අද්මිරාල් පපාරෝ මෙහි දී ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ නව රජය ගෙන යන වැඩපිළිවෙළ අගයමින් සිය සුබපැතුම් පිරි නැමූ අතර, ඉන්දියානු සාගර කලාපයේ ආරක්ෂාව තහවුරු කරමින් සාමකාමී ඉන්දියානු සාගර කලාපයක් පවත්වා ගෙන යාමට ශ්‍රී ලංකාව ලබා දෙන සහායද පැසසුමට ලක් කළා
ශ්‍රී ලංකාව සහ එක්සත් ජනපදය අතර පවතින ශක්තිමත් සබඳතා අඛණ්ඩව පවත්වා ගෙන යාමටත්, ශ්‍රී ලංකා රජයේ නව වැඩපිළිවෙළ සාර්ථකකර ගැනීමටත් සිය සහාය ලබාදෙන බව අද්මිරාල් සැමුවෙල් ජේ. පපාරෝ මෙහිදී පැවසුවා.
ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශවල මානව සම්පත් සංවර්ධනයට එක්සත් ජනපදය අතීතයේ සිට මේ දක්වා ලබා දෙන සහාය මෙහි දී කෘතවේදීව සිහිපත් කළ ජනාධිපති අනුර කුමාර දිසානායක ඒ වෙනුවෙන් සිය ස්තූතිය පළ කර සිටියා.