සේවය අතහැර යාමේ නියෝග ලබා සිටින පොලිස් සැරයන්වරයෙකුගේ මඩකලපුව නිවසේ නීතිවිරෝධී ලෙස තබා ගෙන සිටින පොලිස් නිල ඇඳුම්, පදක්කම් ඇතුළු භාණ්ඩ තොගයක් අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බලකාය පවසනවා.
වව්නතීව් පොලිසියේ රාජකාරී කරමින් සිටි සැකකාර සැරයන්වරයා රාජකාරියට වාර්තා නොකිරීම හේතුවෙන් සේවය අතහැරයාමේ නියෝග ලැබී ඇතැයි විශේෂ කාර්ය බලකාය සඳහන් කළා.
සේවය අතහැරයාමේ නියෝග ලබා සිටි සැකකාර සැරයන්වරයා පොලිස් දෙපාර්තමේන්තුව විසින් ඔහුට ලබා දී තිබූ නිල ඇඳුම් ඇතුළු පොලිස් උපකරණ භාර නොදී එය සඟවාගෙන සිටියදී මෙලෙස අත්අඩංගුවට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.
මෙම භාණ්ඩ අතර ඔහුට පොලිස් දෙපාර්තමේන්තුවෙන් නීත්‍යනුකූල ව ලබා දී තිබූ නිල ඇඳුම්, ලාංඡන, නිල ඇඳුම් කොටස්, අංක තහඩු, වැහි කබා, උපකරණ රැසක්ම තිබී ඇති බවත් වාර්තා වනවා.
මෙම සැරයන්වරයා සම්බන්ධයෙන් විශේෂ කාර්ය බලකායට ලද තොරතුරකට අනුව, කල්ලඩි කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් මඩකලපුව පොලිසියේ නිලධාරීන් සමග එක්ව සිදුකළ ඒකාබද්ධ මෙහෙයුමක දී නිවස පරීක්ෂාවට ලක් කිරීමෙන් අනතුරුව මෙම භාණ්ඩ සොයාගෙන ඇති බවයි පැවසෙන්නේ.