පිටකොටුව බෝධිය හන්දිය පොලිස් මුරපොල අසල දී රථ වාහන රාජකාරියේ නිරත පොලිස් කොස්තාපල්වරයෙකුට පහර දී තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් ගුවන් හමුදා සෙබළකු පිටකොටුව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කොම්පඤ්ඤවීදිය ගුවන් හමුදා කඳවුරට අනුයුක්තව රාජකාරී කරමින් සිටි ගුවන් සෙබළෙක්.
මෙම සෙබලා තවත් පුද්ගලයෙකු සමග අද (04) අලුයම ත්‍රීරෝද රථයකින් ගමන් කරමින් සිටියදී නිලධාරීන් එම රථය සැකපිට නවතා රියදුරුගෙන් බලපත්‍රය ඉල්ලා සිටි අවස්ථාවේ ඔහු සතුව රියදුරු බලපත්‍රයක් තිබී නැති බවයි වාර්තා වන්නේ.
පොලිස් නිලධාරියා එම රථ රියදුරුට තාවකාලිකව රියදුරු බලපත්‍රයක් නිකුත් කිරීමට යාමේ දී එම රථය පිටුපස අසුනේ සිටි ඉහත ගුවන් සෙබලා පොලිස් නිලධාරීන් සමග බහින්බස්වී, මෙම පහරදීම සිදු කර තිබෙනවා.
පහරදීම කළ ගුවන් හමුදා සෙබළා එම අවස්ථාවේදී ම අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ.