කෘෂි හා සංචාරක ක්ෂේත්‍රයේ අත්දැකීම් ශ්‍රී ලංකාව සමඟ බෙදාගැනීමට වියට්නාමයේ කැමැත්ත

ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක සහ ශ්‍රී ලංකාවේ වියට්නාම තානාපතිනි ට්‍රින් තී ටැම් අතර හමුවක් අද (21) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී සිදු වුණා.

ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර පවතින රාජ්‍ය තාන්ත්‍රික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම පිළිබඳ මෙහිදී සාකච්ඡාවට ලක්වු අතර; වියට්නාමයේ සහාය ඇතිව මේ වන විට ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘති සහ ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිත ව්‍යාපෘති සම්බන්ධයෙන් ද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා වී තිබෙනවා.

කෘෂිකාර්මික හා සංචාරක ක්ෂේත්‍ර පිළිබඳව සහ ආයෝජන ප්‍රවර්ධනයට අදාළව වියට්නාමය සතු අත්දැකීම් ශ්‍රී ලංකාව සමඟ බෙදා හදා ගැනීමට සූදානම් බව ද මෙහිදී තානාපතිවරිය සඳහන් කළා.

එමෙන්ම වියට්නාමය රටක් ලෙස ලබා ඇති ජයග්‍රහණ ශ්‍රී ලංකාව තුළ ඵලදායීව යොදා ගැනීම සම්බන්ධයෙන්ද සාකච්ඡා කෙරුණා.

වියට්නාම තානාපති කාර්යාලයේ නියෝජ්‍ය මෙහෙයුම් ප්‍රධානී ලී වෑන් හොංග්, තානාපතිවරියගේ ලේකම් රම්‍යා නිලංගනී යන අය ද මෙම අවස්ථාවට එක්ව සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්