පාදුක්ක – මලගල, කෝරළඉම පාර ප්‍රදේශයේ අක්කර දෙකකට ආසන්න කුඹුරක් කැණීම් කර පස් සෝදා වැලි ලබාගත් පුද්ගලයෙකු එලෙස ගොඩ දැමූ වැලි කියුබ් 40කට ආසන්න තොගයක් සමගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පාදුක්ක පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කංචන මුණසිංහ මහතාට ලද තොරතුරක් මත සිදුකළ පරීක්ෂණයක දී මෙම වැටලීම සිදු කෙරුණා.
මහපන්විල කුඹුරු යාය නමැති මෙම කුඹුරු යාය වසර දෙකක පමණ සිට මෙලෙස කැණීම් කර අත් ට්‍රැක්ටරයක ආධාරයෙන් පස් සෝදා වැලි ලබා ගැනීම සිදුකර ඇති බව සිදුකළ මූලික විමර්ශණයේ දී අනාවරණය වූ බව ද පොලිසිය පවසනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ දෙල්ගහක්නද පාර – මලගල, ප්‍රදේශයේ පදිංචිකරුවකු වන 34 හැවිරිදි පුද්ගලයෙක්.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කෙරෙනවා.