පසු ගියදා අවසන් වූ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ කලින් පිටවූ ප්‍රශ්න 03 සඳහා නිදහස් ලකුණු ලබාදීමට ගෙන තිබෙන තීරණය තුළින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබෙනවා.
ඒ, අනුව මෙම ගැටලුව විසඳීම සඳහා විශේෂඥයින් විසින් ඉදිරිපත් කර ඇති නිර්දේශය 03 අතුරින් සුදුසු නිර්දේශයක් තෝරා ගෙන වහාම ක්‍රියාත්මක කරන ලෙසයි ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විභාග කොමසාරිස් ජනරාල්වරයාට නියෝග කර ඇත්තේ.
එම විභාගයට සහභාගී වූ සිසු සිසුවියන් සහ ඔවුන්ගේ දෙමව්පියන් විසින් ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම් හතරක් විභාග කිරීමෙන් අනතුරුව යසන්ත කෝදාගොඩ, කුමුදුනී වික්‍රමසිංහ සහ අර්ජුන ඔබේසේකර යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දුව ප්‍රකාශ කරනු ලැබුවා.
පෙත්සම්කරුවන් සදහන් කර තිබූණේ 05 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 03ක් කලින් පිටවීම හේතුවෙන් එම ප්‍රශ්න 03 සඳහා එම විභාගයට පෙනී සිටි සියලු සිසු සිසුවියන්ට නිදහස් ලකුණු ලබාදීමට රජය ගෙන තිබෙන තීරණය තුළින් තමන්ට අසාධාරණයක් සිදුවන බවයි.
මේ අතර මෙම තීන්දුව ප්‍රකාශ කරමින් නියෝග කර සිටියේ මෙම ප්‍රශ්න පිටවීමට සම්බන්ධ බවට සැකකරන පුද්ගලයින් වන අයි.ජී.එස්. ප්‍රේමතිලක විසින් රුපියල් මිලියන 03ක් සහ චමින්ද කුමාර ඉළගසිංහ විසින් රුපියල් මිලියන 02ක්ද වන්දි වශයෙන් රජයට ගෙවිය යුතු බවයි.














