රනිල් දේශපාලන ගබ්සාවක් සිදුකළා – ඩලස් අලහප්පෙරුමගෙන් චෝදනාවක්

රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව පළාත් පාලන මැතිවරණ කල් දැමීම, සාමූහික දූෂණයකට පසුව කරනු ලැබූ දේශපාලන ගබ්සාවක් බව නිදහස් ජනතා සභාව පවසනවා.

නිදහස් ජනතා සභාවේ නායක ඩලස් අලහප්පෙරුම විශේෂ ලිපියක් නිකුත් කරමින් මේ බව පවසා තිබෙනවා.

රාජ්‍ය භාණ්ඩාගාරය සතු බදු මුදල් වලින් කෝටි ගණනක් මැතිවරණය වෙනුවෙන් වියදම් කර තිබිය දී මෙලෙස මැතිවරණ කල් දැමීමට කටයුතු කිරීම මහ දවල් කරනු ලැබූ ආර්ථික ඝාතනයක් බවයි ඔහු අදාළ ලිපිය මඟින් පේනවා දී ඇත්තේ,

එබැවින්, මහ බැංකු මංකොල්ලය, සීනි බදු වංචාව, වීසා වංචාව වැනි දේශපාලන සාහිත්‍යයේ සඳහන් වූ අපරාධ ගොන්නට පුංචි ඡන්ද මංකොල්ලය ලෙස මෙය ඇතුළත් කළ යුතු බවට හිටපු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම යෝජනා කරන අතර,
ව්‍යවස්ථාවෙන් හිමි කරගෙන ඇති දේශපාලන වරප්‍රසාද නොසලකා මීට සම්බන්ධ වග උත්තරකරුවන්ට දැඩි දඬුවම් ලබාදිය යුතු බවයි වැඩිදුරටත් පවසා ඇත්තේ.

අදාළ සම්පූර්ණ ලිපිය පහතින්..

මීට මාස 22කට පෙර කැඳවූ නාමයෝජනා අවලංගු කොට නවයෝජනා කැඳවීමටද පළාත් පාලන මැතිවරණය කඩිනමින් පැවැත්වීමට ද කැබිනට් මණ්ඩලය තීරණය කොට තිබේ. විකෘතිය, ප්‍රකෘතිය බවට පත් කිරීමේ මේ තීරණයට සියලුම දේශපාලන පක්ෂවල ද පුරවැසියන්ගේ ද ආශිර්වාදය හිමිවනවා නොඅනුමානය.

රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා විසින් තම දේශපාලන ශූන්‍ය භාවය වසා ගැනීමේ අප්‍රකාශිත අරමුණ සහිතව, 2023 ජනවාරි අග සතියේදී අත්තනෝමතික ලෙස ගනු ලැබූ මැතිවරණය අවලංගු කිරීමේ තීරණය නිසාවෙන්, පළාත් පාලන මැතිවරණය සඳහා මේ වන විට වියදම් කොට ඇති රුපියල් කෝටි හැත්තෑ දෙකකට (720,000,000/=) වැඩි රාජ්‍ය මුදල අපතේ යනු ඇතැයි මැතිවරණ කොමිසම උපුටා දක්වමින් මාධ්‍ය වාර්තා කොට තිබුණි.

පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් එවකට ඇස්තමේන්තු ගත කරන ලද මුළු පිරිවැය, රුපියල් බිලියන 8 කි (8,000,000,000/=). ඒ අනුව, කිසිදු සාධාරණ හේතුවක් හෝ නොමැතිව මෙලෙස අපතේ යාමට නියමිත මුළු මුදල් ප්‍රමාණය අපේක්ෂිත මුළු වියදමෙන් 10% ක් බව නිරවුල්ය. තවද මෙම අසීමිත ධනය, පාලකයන් තම වතු ආදායමින් උපයාගත් ඒවා හෝ තම පවුලේ ගිණුම් වලින් වෙන්කරගත් මුදල් නොව මහජනතාවගේ රීරි මාංශ සුරා උපයා ගත් බදු මුදල් බව ද අතාර්කිකය. පැහැදිලිය.

එසේම එදවස, පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට තීරණය කළ, මැතිවරණ කොමිසමට හා කොමසාරිස්වරුන්ට ගරහමින්, මැතිවරණ පවත්වන ලෙස නියෝග කළ ශ්‍රේෂ්ඨාධිකරණය සහ එහි විනිසුරන් අවමානයට පත් කරමින්, මැතිවරණ සඳහා භාණ්ඩාගාරයට මුදල් නැති බව පවසමින් නොනැවතී අවසානයේ, මැතිවරණයකට නාමයෝජනා කැඳවා නැතැයි යනුවෙන් අශිෂ්ට ප්‍රකාශ පාර්ලිමේන්තුවේදී සභා ගතකිරීමට තරම්, රාජ්‍ය නායකයා තමා දේශපාලන කවන්ධයක් බව තහවුරු කිරීමට ස්වේච්ඡාවෙන්ම ඉදිරිපත් වීම විගඩමක් ලෙසින් වුව ද සාහසික ව්‍යාකරණයන් සමගින් ඉතිහාසයේ සටහන්ව අවසානය.

ජනාධිපතිවරයා, තම අප්‍රකාශිත දේශපාලන කාමය සංසිඳුවා ගැනීමේ වුවමනාවෙන්, මැතිවරණය කල් දැමීමට තීරණය කරනු ලැබුවේ තැපැල් ඡන්ද විමසීමට ආසන්න මොහොතේදී වීම දේශපාලනිකව වඩාත් සාහසිකය. ප්‍රජාතන්ත්‍රවාදී අර්ථයෙන් ගත් කළ කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව මෙලෙස මැතිවරණ කල් දැමීම, සාමූහික දුෂණයකට පසුව කරනු ලැබූ දේශපාලන ගබ්සාවක් වන්නා සේම මුල්‍යමය වශයෙන් ගත් කළ මෙය, මහ දවල් කරනු ලැබූ ආර්ථික ඝාතනයක් බව දැන් මොනවට පැහැදිලි වේ.

රාජ්‍ය භාණ්ඩාගාරය සතු බදු මුදල් වූ උක්ත කෝටි 72 ට අමතරව, නාම යෝජනා භාරදුන් විවිධ දේශපාලන පක්ෂ නියෝජනය කළ අපේක්ෂක අපේක්‍ෂිකාවන් අසූදාස් හයසිය හැත්තෑ දෙදෙනෙකු (80,672) මැතිවරණය වෙනුවෙන් වියදම් කොට අපතේ යාමට නියමිත මුදල මෙපමණකැයි කිසිවෙකුට තක්කරු කළ නොහැක. ඊට අමතරව, මේ පිරිස, ඔවුනගේ ඇප මුදල් වශයෙන්ම වසර දෙකක් පුරා තැන්පත් කොට ඇති මුදල පමණක් රුපියල් මිලියන එකසිය අසූවක්(රු. කෝටි 18ක්) වන අතර එයම, මේ ආර්ථික ඝාතනයේ විසකුරු ස්වරූපය මැන ගතහැකි පර්යේෂණීය සාක්ෂියකි.

එබැවින්, මහ බැංකු මංකොල්ලය, සීනි බදු වංචාව, වීසා වංචාව වැනි අප දේශපාලන සාහිත්‍යයේ සඳහන් වූ අපරාධ ගොන්නට පුංචි ඡන්ද මංකොල්ලය ලෙස මෙය ඇතුළත් කළයුතු අතර ව්‍යවස්ථාවෙන් හිමි කරගෙන ඇති දේශපාලන වරප්‍රසාද නොසලකා වග උත්තරකරුවන්ට දැඩිදඬුවම් ලබාදිය යුතුය.

රාජ්‍ය බදු මුදල් ගෙවා ගත නොහැකිව, ණය පොලී ගෙවා ගත නොහැකිව, දරුවන් පාසල් යැවීමට නොහැකිව, විදුලි බිල ගෙවා ගත නොහැකිව, දහස් සංඛ්‍යාත පුරවැසියන් දිවි නසා ගන්නා රටක මේ සා විශාල මහජන ධනස්කන්ධයක්, හපකොට දැමූ දේශපාලන පිශාචයන් දණ්ඩනයට කැප කිරීම සමාජ යුතුකමක් හා වගකීමක් නොවන්නේද ?

එම නිසා, අපයෝජනය කළ මෙම කෝටි 72 ක මහජන ධනය, මීට වසර දෙකකට පෙර අදාල තීන්දුව ගත් පාලකයන්ගෙන් අයකරගන්නා ලෙස ඉල්ලා පුරවැසියන් ලෙස අපි අධිකරණ ක්‍රියාමාර්ගයන්ට අවතීර්ණ වීමට අපේක්ෂා කරන්නෙමු. ඊට අමතරව, වර්තමාන ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව මෙම ආර්ථික ඝාතකයන්ට එරෙහිව ගන්නා ක්‍රියාමාර්ග කුමක්දැයි උපේක්ෂාවෙන් බලා සිටින අතර නව මැතිවරණය සඳහා දින නියම වීමට සමාන්තරව ම මිලියන විසි දෙකක් වූ වින්දිතයන්ට සාධාරණය ඉටු වෙනු ඇතැයි යන්න බදු ගෙවන ජනතා අපේක්ෂාව බවද දැනුම් දිය යුතුව තිබේ.

ඒ සියල්ලටම පෙර, තමා විසින් අපතේ දැමූ මෙම ජනතා බදු මුදල් නැවත ජනතා සන්තක කරමින් දේශපාලන ඉතිහාසයට ශිෂ්ඨ සහ ශීලාචාර පරිච්ඡේදයක් එකතු කිරීමට රනිල් වික්‍රමසිංහ මැතිතුමාට අවශ්‍ය තරම් කාලය ඉතුරුව තිබෙන බවද ගෞරවයෙන් පෙන්වා දීමට කැමැත්තෙමු.

ඩලස් අලහප්පෙරුම
නායක, නිදහස ජනතා සභාව.
විධායක සභික, සමගි ජන සන්ධානය.
08.12.2024



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂය දඩයම් කරලා හිරේ දාන්න ආණ්ඩුව සූදානම් වෙනවා
03:56
Video thumbnail
මෛත්‍රිපාලගේ නිල නිවස සිල්ලර බඩු කඩයකට දෙන්නද යන්නේ ?නලින්දටත් හිනා ගිය ප්‍රශ්නය
01:12
Video thumbnail
ගුරුවරුන්ට බලපෑම් කරලා අමතර පංති පවත්වන එක වහාම නවත්වන්න
04:15
Video thumbnail
ඉෂාරා සෙව්වන්දි මාංචුත් නැතුව බැංකොක් යනවා වගේ ගියේ - නලින්දට කට උත්තර නැතිවුණ ප්‍රශ්නය
01:20
Video thumbnail
කොළඹ දිස්ත්‍රික් සැලසුම් කමිටුව අගමැතිනිගේ ප්‍රධානත්වයෙන් රැස්වෙයි
04:33
Video thumbnail
විනිසුරු විශ්‍රාම වයස නිසා කැබිනට් මාධ්‍ය හමුව උණුසුම් ?අහන්න ඕනි දිලිත්, ගම්මන්පිල, විමල් දාලද ?
06:40
Video thumbnail
මහානායකහිමියන්ලා දෙබිඩි පිළිවෙතක්ද අනුගමනය කරන්නේ ?නෑ නේද ? ඒ ප්‍රශ්නය Thumbnail කරන්න එපා
05:36
Video thumbnail
සජිත් ආණ්ඩුව සැරටම අමතයි - ආණ්ඩුව IMF එකේ සුරතලා වෙලා
10:51
Video thumbnail
මහානායකහිමියන්ගේ ලිපිය ඇයි මාධ්‍යයට නිකුත් නොකළේ ?ලිපිය ජනපතිට ගියා..නලින්ද කියයි ?
05:02
Video thumbnail
වැරදි කරපු කරපු දඬුවම් ලැබෙනවා - ඒකට තමයි විපක්ෂය බයවෙලා ඉන්නේ
07:25