AFC Banner
Empty Ad
Empty Ad

ප්‍රමිතියෙන් තොර බාල ඖෂධ ගෙන්වූ කෙහෙළිය ඇතුළු තිදෙනෙකුට ඇප (වීඩියෝ)

ප්‍රමිතියෙන් තොර ඖෂධ (Immunoglobin) ගෙනැවිත් රජයේ රෝහල්වලට බෙදා හැරීම සම්බන්ධයෙන් මාස 08ක් රක්ෂිත බන්ධනාගාරගත ව සිටි හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා ඇප මත මුදා හැරීමට මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය නියෝග කර තිබෙනවා.

දැනට (11) රක්ෂිත බන්ධනාගාරගත ව සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාට බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර කිරිමට නොහැකි නම් අධිකරණ නිරීක්ෂණය යටතේ කොළඹ ජාතික රෝහලට හෝ මානසික රෝහල යවා ඔහුගේ රෝගී තත්ත්වයටන්ට අදාළ ව මානසික ප්‍රතිකාර සහ හෘද රෝගී ප්‍රතිකාර ලබාදීමට කටයුතු කරන ලෙස නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම මෙනවිය මාලිගාකන්ද අධිකරණයෙන් ඉල්ලා සිටි අතර එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාගේ රෝගී තත්ත්වය සැලකිල්ලට ගෙන ඇප ලබාදෙන බව මහේස්ත්‍රාත්වරිය සඳහන් කළා.

ව්‍යාජ ලේඛන සකස් කර ප්‍රමිතියෙන් තොර එන්නත් ආනයනය කර රජයේ රෝහල්වලට බෙදා හැරීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පවරා ඇති නඩුවේ දැනට රිමාන්ඩ් භාරයේ පසුවන පළමු වැනි සැකකරු වන බාල ඖෂධ සැපයු සමාගමේ හිමිකරු සුදත් ජානක ප්‍රනාන්දු නමැත්තාට සහ හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාට තවදුරටත් ඇප ලබාදීම සම්බන්ධයෙන් විරෝධතාව දක්වන බවත් 7 වැනි සහ 12 වැනි සැකකරුවන් වන සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ රත්නකුමාර හේරත්ට සහ ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක නිලධාරි වෛද්‍ය විජිත් ගුණසේකර යන අයට ඇප ලබාදීම සම්බන්ධයෙන් විරුද්ධ නොවන බවත් නීතිපතිවරයා මාලිගාකන්ද අධිකරණයට දන්වා සිටියා.

7 වන සහ 12 වන සැකකරුවන් සම්බන්ධයෙන් වෛද්‍ය මණ්ඩල වාර්තා අද අධිකරණයට ඉදිරිපත් කරමින් නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මෙනවිය මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඒ බව දන්වා සිටි බවයි වාර්තා වන්නේ.

ඉහත සැකකරුවන් දෙදෙනා සිය දිවිනසා ගැනීමේ උග්‍ර තත්ත්වයකට හා දරුණු මානසික රෝගි තත්ත්වයකට මුහුණු දී ඇති බවත් දැඩි හෘද රෝගි තත්ත්වයකට මුහුණ පා ඇති බව සඳහන් කරමින් වෛද්‍ය මණ්ඩලය විසින් අනුමත කළ වාර්තාවක් අධිකරණයට මෙහිදී ඉදිරිපත් කරනු ලැබුවා.

පසුගිය නඩු විභායේ දී අංගොඩ මානසික රෝග විද්‍යායතනය වෙත යවනු ලැබු සුදත් ජානක නමැත්තා නඩුව කැඳවු අවස්ථාවේ දී අධිකරණයට ඉදිරිපත් නොකෙරුණු අතර සෙසු සැකකරුවන් තිදෙනා බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබූ බවයි දසත අධිකරණ වාර්තාකාරිණිය පැවසුවේ.

එමෙන්ම හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා සඳහන් කළේ සිය සේවාදායකයා සියදිවි නසා ගැනීමේ ප්‍රවණතාවක් හා පසුකම්පන තත්ත්වයක් ඇති බවත් එවැනි සියදිවි නසා ගැනීමට තැත් කරන රෝගියෙකු බලා ගැනීමට බන්ධනාගාර රෝහලේ පහසුකම් නැති බවත් අධිකරණයට කරුණු දක්වමින් සඳහන් කෙරුණා.

තවද පුර්ණ ආබාධිත තත්ත්වයට පත් විය හැකි බවත් එම තත්ත්වය රජයේ රෝහලක සුව කිරිමට නොහැකි බවත් එසේ පුර්ණ ආබාධිත තත්ත්වයට පත් වුවහොත් ඇප ලබා දුන්නත් වැඩක් නොවන බව ද ජනාධිපති නිතිඥවරයා පෙන්වා දුන්නා.

එබැවින් සුදුසු ඕනැම කොන්දේසියක් මත ඇප ලබාදෙන ලෙස මෙහිදී නීතිඥවරු අධිකරණයෙන් ඉල්ලා සිටියා.

ඊට විරුද්ධත්වය පෑ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය පෙන්වා දුන්නේ 2019 වසරේ දී ලබාගත් වෛද්‍ය වාර්තා ඉදිරිපත් කර ඇති බවත් ඒවා වසර පහක් පැරණි එවා බවත් ය.

එමෙන්ම 8 වන සැකකරු එසේ ඉදිරිපත් කර ඇත්තේ ඉදිරි වසර දහයක දි ඇති විය හැකි රෝග වාර්තාවක් බවත් වර්තමාන තත්ත්වය තුළ දී එම රෝගවලින් නොපෙලෙන බව ද මෙහිදී ප්‍රකාශ කර සිටියා.

තව ද වර්තමාන රෝගී තත්ත්වය වෛද්‍ය මණ්ඩලය වෙත පෙන්වාදීමට සැකකරු අසමත් වී ඇති බවත් මේ තත්ත්වය මත අධිකරණයට ඇප ලබා දීමට බලයක් නැති බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය පෙන්වා දුන්නා.

බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර කිරීමට නොහැකි නම් අධිකරණ නිරික්ෂණය යටතේ කොළඹ ජාතික රෝහලට හෝ මානසික රෝහල යවා එම මානසික ප්‍රතිකාර සහ හෘද රෝගි ප්‍රතිකාර ලබාදීමට කටයුතු කරන ලෙස ද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය අධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියා.

ඉදිරිපත් වූ සියලු කරුණු සලකා බැලු මාලිගාකන්ද මහේස්ත්‍රාත්වරිය නඩුවේ 7වන සැකකරු වන සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ රත්නකුමාර හේරත් සහ 12 වන සැකකරු වන ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක නිලධාරි වෛද්‍ය විජිත් ගුණසේකර යන අය රුපියල් ලක්ෂයක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ පනහක ශරිර ඇප මත මුදා හැරිමට නියෝග කළා.

එමෙන්ම පළමු වැනි සැකකරු සම්බන්ධයෙන් දින 14 න් 14ට රෝග වාර්තා ඉදිරිපත් කරන ලෙස අංගොඩ මානසික රෝහලට නියෝග කළ අතර නඩු විභාගයට මුහුණදීම සඳහා සුදුසු තත්ත්වයට සුව වු පසු අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ද නියෝග කළා.

අවුරුදු 71 ජ්‍යෙෂ්ඨ පුරවැසියකු වන හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල සැලකිය යුතු රෝගවලින් පීඩා විඳින බව අධිකරණයට නිරික්ෂණය වන බව සඳහන් කළ මහේස්ත්‍රාත්වරිය වැඩිදුරටත් සඳහන් කළේ දැනට මාස 07කට අධික කාලයක් බන්ධනාගාරගතව සිටීම බැහැර කළ නොහැකි බවයි.

එමෙන්ම 08 වන සැකකරුගේ රෝගී තත්ත්වය ක්‍රමානුකූලව උත්සන්න වන බව ද නිරික්ෂණය වන බව මහේස්ත්‍රාත්වරිය සඳහන් කළා.

එබැවින් දැඩි මානසික ආතතියකට ලක්ව ඇති බවත් දරුණු මානසික රෝගි තත්ත්වයකට මුහුණ පා ඇති බැවින් එය සුවිශේෂී කරුණක් ලෙස පිළිගන්නා අතර ඔහු ඇප මත මුදා හැරීමට මෙහිදී නියෝග කළා.

ඒ අනුව රුපියල් ලක්ෂ එකක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 50ක මුදල් ඇප මත මුදා හැරීමටයි කටයුතු කෙරුණේ.

බාල ඖෂධ ගෙන්වූ බව කියන අයු­සු­ලේට් බයො­ටෙක් ෆර්මා සමා­ගමේ හිමි­කරු වන සුගත් ජානක ප්‍රනාන්දු, වෛද්‍ය සැප­යුම් අංශයේ හිටපු අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍ර­ම­නා­යක, වෛද්‍ය සැප­යුම් අංශයේ සහ­කාර අධ්‍යක්ෂ ශාන්තිනී සොල­මන්, ගණ­කා­ධි­කාරී (සැප­යුම්) නෙරාන් ධනං­ජය, සෞඛ්‍ය අමා­ත්‍යාං­ශයේ හිටපු ලේකම් ජනක චන්ද්‍ර­ගුප්ත, වෛද්‍ය සැප­යුම් ඒක­කයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජන­රාල් වෛද්‍ය හේරත් මුදි­ය­න්සේ­ලාගේ ධර්ම­සිරි රත්න­කු­මාර හේරත්, හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙ­ළිය රඹු­ක්වැල්ල, සෞඛ්‍ය අමා­ත්‍යාං­ශයේ හිටපු අති­රේක ලේකම් සමන් රත්නා­යක, වෛද්‍ය සැප­යුම් අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය අර‍ඹේ­ගෙ­දර තුසිත සුද­ර්ශන‍්, ඖෂධ නියා­මන අධි­කා­රියේ හිටපු ප්‍රධාන විධා­යක නිල­ධාරී විජිත් රණ­සිංහ ගුණ­සේ­කර යන සැක­ක­රු­වන් මෙම නඩුවේ සැක­ක­රුවෝ වෙති.

මෙහි සිව්වැනි සැක­කාර හිරාන් ධන­ජංය, පස්වැනි සැක­කාර සෞඛ්‍ය අමා­ත්‍යාං­ශයේ තොග පාලක සුජිත් කුමාර සහ වෛද්‍ය සැප­යුම් අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය අර‍ඹේ­ගෙ­දර තුසිත සුද­ර්ශන, ජානක චන්ද්‍රගුප්ත, සමන් රත්නායක, කපිල වික්‍රමනායක , දේවශාන්තිනි සොලමන්ස් යන හත් දෙනා පම­ණක් මේ වන විට ඇප මත සිටින අතර, වෛද්‍ය ජය­නාත් බුත්පි­ටිය යන අය මෙම නඩුවේ 09 වැනි සැක­කරු ලෙස නම් කර තිබෙනවා.

එම සැක­කරු මේ වන විට විදෙ­ස්ගත සිටින අතර එම සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා මේ වන විට ජාත්‍යන්තර පොලිසිය වෙත රතු නිවේදන යවා තිබෙනවා.

සැකකරුවන් 12නා ගෙන් දස දෙනෙකු ඇපමත මුදා හැර ඇති බවයි හෙළි වූයේ.

එක් සැකකරුවකු විදෙස්ගතව සිටින බැවින් තවමත් අත්අඩංගුවට ගෙන නොමැති අතර පළමු වන සැකකරු සුදත් ජානක ප්‍රනාන්දු නඩුව අවසන් වනතුරු රක්ෂිත බන්ධනාගාරගත කිරිමේ නියෝගයට යටත්ව තවමත් බන්ධනාගාරගතව සිටිනවා.

ඉන්දියානු ණය යෝජනා ක්‍රමයක් යටතේ මෙරටට ගෙන්වු ඖෂධ නිසා ජිවිත අවදානම් තත්ත්වයට පත් කිරීම සහ රජයට කෝටි ගණනක පාඩුවක් කිරීම සම්බන්ධයෙන් විමර්ශනයක් කරන්නැයි ඉල්ලා අල්ලස්, දුෂණ හා නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානයේ සභාපති කාමන්ත තුෂාර මහතා සහ සිවිල් සංවිධාන එකමුතුව කළ පැමිණිල්ලලකට අනුව අපරාධ ප‍රීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශනය කර මෙම නඩුව පැවරුවා.

නීතිපතිවරයා වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මෙනවිය සහ රජයේ අධි නීතිඥ අසේල විජේසිංහ , ගංගානි උක්වත්ත මහත්මිය ඇතුලු පිරිසක් පෙනී සිටිනවා.

අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් උප පොලිස් පරික්ෂක ලක්සිරි මහතා, සැරයන් ප්‍රනාන්දු 35124, සැරයන් මනෝජ් 61823, සහ ප්‍රධාන පොලිස් පරික්ෂක ජයන්ත පයාගල මහතා ඇතුලු පිරිසක් පෙනී සිටිනු ඇති.

සැකකරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න , ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න, ජනාධිපති නීතිඥ ප්‍රියන්ත නවාන ඇතුලු නීතිඥ මණ්ඩලයක් පෙනී සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
10
+1
5
+1
1
+1
0
+1
1
+1
8
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?