AFC Banner
Empty Ad
Empty Ad

පශ්චාත් මරණ පරීක්ෂණය කර නිවසට ගෙනා මිනියේ රැවුල වැවිලා

මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලේ දී පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදු කර නිවසට රැගෙන එන ලද පුද්ගලයකුගේ මෘත දේහයේ උඩුරැවුල වැවී තිබීම නිසා මෘතදේහය නැවත මොනරාගල මහ රෝහලට ගෙන ගොස් ඇත.

ඇතිලිවැව-වෙහෙරයාය පදිංචි ජේ.ඒ.එල්. ඥානතිලක (55) නමැති දෙදරු පියකු පසුගිය 09 වැනිදා සවස ළිඳකට වැටී මිය ගොස් තිබුණි.

පොලිසිය ඔහුගේ මෘතදේහය වැල්ලවාය මූලික රෝහලට ගෙනැවිත් තිබිනු අතර පසුදින මෘතදේහය පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීම සඳහා මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලට යවා තිබිණි.

12 වැනිදා පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වා මෘතදේහය එදින සවස ඥාතීන්ට භාර දී ඇත. ඥාතීන් විසින් මෘතදේහය මල්ශාලාවකට භාර දී ඇත. මල්ශාලා සේවකයින් එදිනම මෘතදේහය එම්බාම්කොට සකස් කර නිවසට ගෙනැවිත් භාර දී තිබේ.

13 වැනිදා මිය ගිය අයගේ දියණිය මෘත දේහයේ උඩුරැවුල තිබෙන බව දැක තමාගේ පියා කිසිදිනෙක උඩුරැවුලක් වවා නොමැති බවත් මෘත දේහය තම පියාගේ නොවන බවත් පවසා ඇත.

පසුව මේ ගැන කුඩාඔය පොලිසියට දැනුම් දී මෘතදේහය මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලට රැගෙනවිත් ඇත.

ඔක්කම්පිටිය මාලිගාවිල ප්‍රදේශයේ දී ඉකුත් 11 වැනිදා වන අලියකු පහරදීමෙන් මියගිය, පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා ගෙනැවිත් මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබූ අධිකාරි මුදියන්සේලාගේ අනුර ගුණරත්න නමැති අයකුගේ මෘත දේහය මෙලෙස මාරු වී ඇති බව හෙළි වී තිබේ.

පසුව එහි තිබූ ඥානතිලක මහතාගේ මෘතදේහය ආපසු රැගෙන ගොස් එදිනම සවස මිහිදන් කිරීමට ඥාතීන් පියවර ගෙන ඇත.

මේ පිළිබඳව මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලේ වෛද්‍ය අධිකාරි ආර්.එම්.ඩී. රත්නායකගෙන් කළ විමසුමකදී කියා සිටියේ ‘‘මෘතදේහයක් ඥාතීන්ට භාරදීම සුළු සේවක පාලකවරයාගේ වගකීමක්. ඒ වගේම ඥාතීන්ද මෘතදේහය හඳුනාගෙන එය භාරගත යුතුයි. පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත් වූ මෘත දේහයකට වෙනත් මෘතදේහයක් මාරු වීම කිසිසේත් සිදුවන්න බැහැ. මෘත ශරීරාගාරයේ සේවකයන්ගේ නොසැලකිල්ල මතයි මෙය සිදු වී තිබෙන්නේ. මේ පිළිබඳව පරීක්ෂණයක් සිදු කරනවා.‘‘ යනුවෙනි.

කෙසේ වෙතත් මියගිය අයෙකුගේ ඥාතියකු වන එච්.එම්.එස්. බණ්ඩාර මහතා පැවසුවේ මෙවැනි දෙයක්
‘‘ඉකුත් 13 වැනිදා අපි මොනරාගල මහ රෝහලට ගියා. කිසිම ඥාතියකුට මෘත දේහය පෙන්නුවේ නැහැ. බලන්න දෙන්න බැහැ කිව්වා. සවස පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වලා මෘතදේහය අපිට භාර දුන් බවට අත්සන් ගත්තා.‘‘
යනුවෙනි.

කැලුම් ගුණතිලක – මොනරාගල

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
18
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?