ව්‍යාජ ලේඛන සකස් කර ප්‍රමිතියෙන් තොර එන්නත් ආනයනය කර රජයේ රෝහල්වලට බෙදාහැරීම සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් පවරා ඇති නඩුවේ දැනට (22) රිමාන්ඩ් භාරයේ පසුවන සැකකරුවන් සිව්දෙනා දිවිනසා ගැනීමේ තත්ත්වයකට හා දරුණු මානසික රෝගි තත්ත්වයකට මුහුණු දී ඇති බැවින් වෛද්‍ය මණ්ඩලයක් වෙත ඔවුන් යොමු කර ඇප ලබා දෙන ලෙස එම සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඉල්ලා සිටියා.
ඊයේ (22) මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයේ එම නඩුව කැඳවූ අවස්ථාවේ දී අතිරේක මහේස්ත්‍රාත් බෝගහපිටිය මහත්මිය නියෝග කළේ ඊට අදාළ ඉල්ලීම් මෝසම් පත්‍රයක් මගින් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි.
පළමු සැකකරු වන සුදත් ජානක, හත්වන සැකකරු වන රත්නකුමාර හේරත්, අටවන සැකකරු වන හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ 12 වැනි සැකකරු වන විජිත් ගුණසේකර යන වෛද්‍ය මණ්ඩලයකට යොමු කිරීමට එහිදී අවසර ඉල්ලා තිබෙනවා.
එම සැකකරුවන් හතරදෙනා හෘද රෝග, මානසික රෝග, පිළිකා රෝග, කායික රෝග, සහ ආමාශ රෝගවලින් පෙලෙන බැවින් ඒ සම්බන්ධයෙන් වන විශේෂඥ වෛද්‍ය මණ්ඩලයක් වෙත යොමු කරන ලෙස සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් මෙහිදී ඉල්ලා ඇති බවයි අප අධිකරණ වාර්තාකරු පැවසුවේ.
හයවන සැකකරු ජනක චන්ද්‍රගුප්ත සහ දහවන සැකකරු සමන් රත්නායක යන සැකකරුවන් දෙදෙනා ජීවිත අවදානම් තත්ත්වයක පසුවන හෘද රෝග සහ විශාදය රෝගයෙන් පෙලෙන බව විශේෂ පංච පුද්ගල වෛද්‍ය මණ්ඩල වාර්තාවක් මගින් කරුණු තහවුරු කර ඇති අතර ඔවුන් දෙදෙනා ඇප මත මුදා හැරිමට මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය පසුගිය 08 වැනිදා නියෝග කළා.
ඒ අනුව සැකකරුවන් දෙදෙනා රුපියල් ලක්ෂයක මුදල් ඇපයක් හා ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප දෙකක් මත නිදහස් කිරීමටයි මහේස්ත්‍රාත්වරිය නියෝග කළේ.
බාල ඖෂධ ගෙන්වූ බව කියන අයුසුලේට් බයොටෙක් ෆර්මා සමාගමේ හිමිකරු වන සුගත් ජානක ප්‍රනාන්දු, වෛද්‍ය සැපයුම් අංශයේ හිටපු අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක, වෛද්‍ය සැපයුම් අංශයේ සහකාර අධ්‍යක්ෂ ශාන්තිනී සොලමන්, ගණකාධිකාරී (සැපයුම්) නෙරාන් ධනංජය, සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක චන්ද්‍රගුප්ත, වෛද්‍ය සැපයුම් ඒකකයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේරත් මුදියන්සේලාගේ ධර්මසිරි රත්නකුමාර හේරත්, හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු අතිරේක ලේකම් සමන් රත්නායක, වෛද්‍ය සැපයුම් අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය අරඹේගෙදර තුසිත සුදර්ශන්, ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී විජිත් රණසිංහ ගුණසේකර යන සැකකරුවන් මෙම නඩුවේ සෙසු සැකකරුවෝ වනවා.
මෙහි සිව්වැනි සැකකාර හිරාන් ධනජංය, පස්වැනි සැකකාර සෞඛ්‍ය අමාත්‍යාංශයේ තොග පාලක සුජිත් කුමාර සහ වෛද්‍ය සැපයුම් අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය අරඹේගෙදර තුසිත සුදර්ශන, ජානක චන්ද්‍රගුප්ත, සමන් රත්නායක යන අය පමණක් මේ වන විට ඇප මත සිටින අතර, වෛද්‍ය ජයනාත් බුත්පිටිය යන අය මෙම නඩුවේ 09 වැනි සැකකරු ලෙස නම් කර තිබෙනවා.
එම සැකකරු මේ වන විට විදෙස්ගත සිටින අතර එම සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා මේ වන විට ජාත්‍යන්තර පොලිසිය වෙත රතු නිවේදන යවා ඇති බවයි පැවසෙන්නේ.
12 වන සැකකරු වන විජිත් ගුණසේකරගේ රෝගි තත්ත්වය උත්සන්න වී ඇති බැවින් ඔහු අධිකරණයට ඉදිරිපත් නොකෙරුණු බව ද වාර්තා වනවා.
ඒ පිළිබඳව සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට කරුණු දැන්වූ බවයි වාර්තා වන්නේ.
ඉදිරිපත් කළ සියලු කරුණු සැලකිල්ලට ගත් අධිකරණය හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා ඇතුළු අනෙක් සැකකරුවන් හතරදෙනා ලබන 29 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කෙරුණා.
සැකකරුවන් 12නා ගෙන් හත් දෙනෙකු ඇපමත මුදා හැර ඇති අතර එක් සැකකරුවකු විදෙස්ගතව සිටින බැවින් තවමත් අත්අඩංගුවට ගෙන නොමැති බවත් අධිකරණයට දැනුම්දුන්නා.
ඉතිරි සැකකරුවන් සිව්දෙනා නඩුව අවසන් වනතුරු රක්ෂිත බන්ධනාගාරගත කිරීමේ නියෝගයට යටත්ව තවමත් බන්ධනාගාරගතව සිටිනවා.
හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පෙබරවාරි 02 වැනිදා සිට මේ දක්වා රක්ෂිත බන්ධනාගාරගතව සිටිනු ඇති.