AFC Banner
Empty Ad
Empty Ad

ක්ලබ් වසන්තගේ ඝාතකයින් සැප්තැම්බර් 02 තෙක් යළිත් රිමාන්ඩ්

අතුරුගිරිය ටැටූ මධ්‍යස්ථානයක් තුළ දී ව්‍යාපාරික සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත නමැත්තා ඇතුළු දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කර තවත් සිව්දෙනෙකුට තුවාල සිදු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාරගත කර සිටින සැකකරුවන් 11දෙනා සැප්තැම්බර් 02 වැනි දා තෙක් යළිත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අධිකරණය නියෝග කළා.

එම සැකකරුවන් 11 දෙනා අද යළිත් කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි කඩුවෙල මහේස්ත්‍රාත් චානිමා විජයබණ්ඩාර මහත්මිය අදාළ නියෝගය නිකුත් කළේ.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් වූ විමර්ශන කටයුතු බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය වෙත පවරන ලෙස ද අධිකරණය විසින් නියෝග කරනු ලැබුවා.

එසේම සැකකරුවන් හට ජීවිත තර්ජන ඇති බවට සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥයන් අධිකරණය හමුවේ කරුණු දැක්වීම මත ඔවුන්ට අවශ්‍ය ආරක්ෂාව ලබා දෙන ලෙස ද මහේස්ත්‍රාත්වරිය නියෝග කළා.

සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට පරීක්ෂණ කටයුතු සිදු කරනු ලබන අතුරුගිරිය පොලිසිය අධිකරණය වෙත කරුණු වාර්තා කරමින් අදාළ වෙඩි තැබීම සිදුකර වෙඩික්කරුවන් දෙදෙනා සම්බන්ධයෙන් කරුණු රාශියක් අනාවරණය වී ඇති බවත් මෙහිදී අනාවරණය කෙරුණා.

ඝාතනයට ලක් වූ පුද්ගලයන් දෙදෙනාගේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තා අධිකරණය වෙත ලැබී තිබූ අතර ඒ පිළිබඳව වැඩිදුර විභාගය සැප්තැම්බර් මස 02 දින සිදු කිරීමට නියමිත බවත් වාර්තා වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?