රේගුව වර්ජනය කළත් එයාර්පෝට්; වරාය වැඩ (වීඩියෝ)

ප්‍රධාන ඉල්ලීම් දෙකක් මුල් කර ගනිමින් රේගු දෙපාර්තමේන්තු නිලධාරීන් අද (04) සහ හෙට (05) යන දෙදින තුළ සිදු කරන වෘත්තීය ක්‍රියාමාර්ගයෙන් ජනතාවට සෘජු ව සේවය සපයන කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ, කොළඹ හා ගාලු වරායන් තුළ සේවා කටයුතුවලට බාධාවක් නොවන බව රේගු වෘත්තීය සමිති සන්ධානයේ ප්‍රකාශකවරයෙකු වන ගීතාංජන මඩපාත පවසනවා.

ඊට හේතුව ලෙස ඔහු සඳහන් කරන්නේ මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය එම පරිශ්‍රයන් හි දී සිදු නොවන බවයි.

තමන් ඇතුළු රේගු අධිකාරිය මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට පිවිසෙන්නේ; ආණ්ඩුවේ අදූරදර්ශී පාලන ක්‍රමයට එරෙහිව බවට ද මඩපාත මහතා පවසනවා.

ශ්‍රී ලංකා රේගුවෙන් විශේෂඥ අදහස් නොවිමසා, මුදල් අමාත්‍යාංශයේ අදූරදර්ශී නිලධාරීන් කිහිපදෙනෙකුගේ මූලිකත්වයෙන් රේගු ආඥා පනතේ වගන්ති කිහිපයක් සංශෝධන‍ය කිරීමට රජය පියවර ගනිමින් සිටීමට එරෙහිවයි රේගු නිලධාරීන් සිය වෘත්තීය ක්‍රියාමාර්ගයට එළැඹෙන්නේ.

එම නිලධාරීන්ගේ දෙවන ඉල්ලීම වන්නේ රේගු දෙපාර්තමේන්තුව, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සහ සුරාබදු දෙපාර්තමේන්තුව මගින් මෙතෙක් සිදු කරගෙන යමින් සිටින ශ්‍රී ලංකාවේ බදු එකතු කිරීමේ ක්‍රියාවලිය ශ්‍රී ලංකා ආදායම් අධිකාරිය නමැති පෞද්ගලික ආයතනයකට පැවරීමේ රජයේ උත්සාහය පරාජය කිරීම වන බව ද සඳහන්.

මෙම නව අධිකාරිය පිහිටු වීම සඳහා ද ඉහත මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිස ම මුල් වී ක්‍රියා කර ඇති බව ද රේගු වෘත්තීය සමිති සන්ධානයේ ප්‍රකාශකවරයා සඳහන් කළා.

ඒ හේතුවෙන් අද හා හෙට දෙදින පුරාවටම උදේ 8.30 සිට මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය සිදු කෙරෙනු ඇති.