AFC Banner
Empty Ad
Empty Ad

“සුරක්ෂා” සිසු රක්ෂණාවරණය යළිත්

ආර්ථික ගැටළුකාරී තත්ත්වය හේතුවෙන් තාවකාලිකව අත්හිටුවන ලද “සුරක්ෂා” සිසු රක්ෂණාවරණය යළි ආරම්භ කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ උපදෙස් දී තිබෙනවා.

ඒ, අනුව දිවයින පුරා සියලුම පාසල් සිසුන්ට මෙම රක්ෂණාවරණය යටතේ ප්‍රතිලාභ ලබාගැනීමේ හැකියාව ජුනි මස මුල් සතියේ සිට උදා වනවා.

මීට අදාළව මුදල්, ආර්ථික ස්ථායීකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත විසින් ඉදිරිපත් කරන ලද ඒකාබද්ධ අමාත්‍ය මණ්ඩල සංදේශය සඳහා පසුගියදා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.

“සුරක්ෂා” සිසු රක්ෂණාවරණය, සෞඛ්‍ය ගැටළු හේතුවෙන් අධ්‍යාපනය ලබාගැනීමට නොහැකි සිසුන්ට අඛණ්ඩ අධ්‍යාපනයක් ලබාදීම සහ ඔවුන්ගේ සුරක්ෂිතභාවය තහවුරු කරමින් පාසල් සිසුන් දෛනිකව පාසල් පැමිණීම වර්ධනය කිරීමේ අරමුණ ඇතිව 2017 වර්ෂයේ එවක අග්‍රාමාත්‍යවරයා වශයෙන් වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සංකල්පයක් මත ක්‍රියාත්මක කරන ලද වැඩසටහනක්.

මෙම වැඩසටහන 2022.12.01 දින දක්වා අඛණ්ඩව ක්‍රියාත්මක වූ අතර, පැවති ආර්ථික අර්බුදය හේතුවෙන් ඉන් පසු කාල සීමාවේ දී මේ සඳහා අවශ්‍ය අරමුදල් සපයා ගැනීමේ දුෂ්කරතා මත තාවකාලිකව අත්හිටුවීමට සිදුවුණා.

කෙසේ නමුත් මේ වන විට රට තුළ ඇති වී තිබෙන ආර්ථික ප්‍රකෘතිමත්භාවයත් සමඟ”සුරක්ෂා” සිසු රක්ෂණාවරණය යළි ක්‍රියාත්මක කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් 2024 වර්ෂයේ අයවැය යෝජනා මගින් රුපියල් මිලියන 2000ක මුදලක් වෙන් කර තිබෙනවා.

2048 වන විට දියුණු ශ්‍රී ලංකාවක් ගොඩනැගීම වෙනුවෙන් අවශ්‍ය මානව සම්පත නිර්මාණය කිරීමේ වැඩපිළිවෙළ ශක්තිමත් කිරීම එහි අරමුණයි.

ඒ, අනුව ලක්ෂ 45කට ආසන්න මෙරට රජයේ පාසල්, රජයේ අනුමත පෞද්ගලික පාසල් හා පිරිවෙන්හි ඉගෙනුම ලබන 1 ශ්‍රේණියේ සිට 13 වන ශ්‍රේණිය දක්වා ශ්‍රේණිවල වයස අවුරුදු 5ත් 21ත් අතර සිසුන් සහ උපකෘත විශේෂ පාසල්වල ඉගෙනුම ලබන අවුරුදු 4ත් 21ත් අතර වයස සීමාවේ පසුවන සිසුන් සඳහා සෞඛ්‍ය රක්ෂණාවරණය සහ අනතුරු රක්ෂණාවරණය යටතේ වූ සියලු ප්‍රතිලාභ ලබාදීමට යෝජනා වී තිබෙනවා.

එසේම අඩු ආදායම්ලාභී එනම් වාර්ෂික ආදායම රුපියල් 180,000 කට වඩා අඩු පවුල්වල සිසුන් සඳහා ජීවිත රක්ෂණ ආවරණය යටතේ වූ දෙමාපිය මරණ සඳහා ද ප්‍රතිලාභ ලබා දීමට යෝජනා කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
1
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?