‘හරක් කටා’ රැඳවුම් කඳවුරක රඳවා තැබීමට අධිකරණයෙන් නියෝග

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රැඳවුම් නියෝග මත රඳවා සිටිය දී ඉන් පළායාමට තැත් කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් ‘හරක් කටා’ නමැත්තාට අධි චෝදනා පත්‍ර භාරදීමෙන් අනතුරුව ඔහු තංගල්ල පැරණි බන්ධනාගාර සංකීර්ණයේ පිහිටි ත්‍රස්ත මර්දන කාර්යාංශයේ අධ්‍යක්ෂ යටතේ එහි ස්ථානාධිපතිවරයා භාරයේ රඳවා තැබීමට කොළඹ මහාධිකරණය අද (11) නියම කළා.

මෙම සිද්ධියේ දෙවන විත්තිකරු වශයෙන් නම්කර ඇති මේ වනවිට අධිකරණය මඟ හැර සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු නිලධාරියෙකු වූ රවිදු සංදීප නමැති විත්තිකරු අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කළ මහාධිකරණ විනිසුරුවරයා නඩුවේ තුන්වන විත්තිකරු වශයෙන් නම්කර සිටින දිනේශ් සුරංග නමැත්තා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් නියෝග කළා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා සිටි හරක් කටා නමැති විත්තිකරු දැඩි ආරක්ෂක විධිවිධාන මැද අද (11) දහවල් කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා හමුවට පමුණුවනු ලැබුවා.

ඉන් අනතුරුව විත්තිකරුවන්ට අධි චෝදනා පත්‍ර භාර දීමෙන් අනතුරුව ඔවුන්ගේ ඇඟිලි සලකුණු ලබාගෙන වාර්තාවක් කැඳවන ලෙසත් මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළා.

නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥ සජිත් බණ්ඩාර අධිකරණය හමුවේ කරුණු දක්වමින් හරක් කටා නැමැති විත්තිකරු අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රැඳවුම් නියෝග මත රඳවා සිටියදී එහි සිටි නිලධාරීන්ට පහරදී පලායාමට තැත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා 22ක් යටතේ මෙම නඩුව නීතිපතිවරයා විසින් ගොනු කර තිබෙන බව සඳහන් කළා.

මෙම පළායාමේ ප්‍රයත්නය ව්‍යාර්ථ වීමෙන් පසුව වෙනත් පුද්ගලයින් හා අවි ආයුධ යොදා ගනිමින් යළිත් එවැනි උත්සාහයක නිරත වී ඇති බව විමර්ශනවලදී කරුණු අනාවරණය වූ බව සඳහන් කළ රජයේ නීතිඥවරයා මේ තුළින් විත්තිකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්ට මෙන්ම ජාතික ආරක්ෂවට සහ මහජන සාමයට තර්ජනාත්මක ආකාරයෙන් කටයුතු කර ඇති බවත් පෙන්වා දුන්නා.

ඒ, අනුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ විත්තිකරුවන්ට එරෙහිව චෝදනා ගොනු කිරීමට නීතිපතිවරයා කටයුතු කළ බවත් රජයේ නීතිඥවරයා පැවසුවා

වැඩිදුරටත් කරුණු දැක්වූ රජයේ නීතිඥවරයා. “ස්වාමීනි..මෙම විත්තිකරුවන්ට එරෙහිව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ නීතිපතිවරයා විසින් චෝදනා ගොනු කර තිබෙනවා.1982 අංකල්ප 10 දරණ ත්‍රස්තවාදය වැළැක්වීමේ සංශෝධිත පනතේ 15 (2) වගන්තිය යටතේ මෙවැනි චෝදනා එල්ලවන විත්තිකරුවකු නඩු විභාගය අවසන් වන තුරු රක්ෂිත බන්ධනාගර ගත කිරීමට අධිකරණයට බලය ලබාදී තිබෙනවා. එසේම අදාළ පනතේ 15 (අ) 1 වගන්තිය යටතේ මෙසේ බන්ධනාගාර ගත කරන පුද්ගලයෙකු රඳවා සිටින ස්ථානය තීරණය කිරීමේ බලය ආරක්ෂක ලේකම්වරයා වෙත පවරාදී තිබෙනවා. හරක් කටා නැමැති විත්තිකරුගේ ක්‍රියාකලාපය නිසා ජාතික ආරක්ෂාවට මෙන්ම මහජන සාමයට විශාල තර්ජනයක් එල්ල වී තිබෙන බව දැනටත් පෙනී යන කරුණක්. එම නිසා හරක් කටා නමැති විත්තිකරු තංගල්ල පැරණි බන්ධනාගාරයේ පිහිටි ත්‍රස්ත විමර්ශන අංශයේ අධ්‍යක්ෂකවරයා යටතේ එහි ස්ථානාධිපතිවරයා භාරයේ රඳවා තැබීමට පියවර ගන්නා ලෙස ආරක්ෂක ලේකම්වරයා නියම කර තිබෙනවා. ආරක්ෂක ලේකම්වරයාගේ මෙම තීරණය බන්ධනාගාර කොමසාරිස් ජනරාල් වරයාටත් යොමු කර තිබෙනවා.”

යනුවෙන් සඳහන් කළ රජයේ නීතිඥවරයා එසේ රඳවා තබන විත්තිකරුට සාධාරණ නඩු විභාගයක් ලබාදීම සඳහා නීතිඥවරුන්ට අවශ්‍ය ප්‍රවේශය ලබාදීමට සූදානම් බවත් සඳහන් කළා.

ඉන් අනතුරුව ‘හරක් කටා’ නැමැති විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ හෆීල් ෆාරිස් අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම අධි චෝදනා පත්‍රය සම්බන්ධයෙන් මූලික විරෝධතා ඉදිරිපත් කිරීමට විත්තිය අපේක්ෂා කරන බව දැනුම් දුන්නා.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ මෙම චෝදනා ගොනු කිරීමට හැකියාවක් තිබේදැයි කරුණු අධ්‍යයනය කර වැඩිදුර කරුණු දැක්වීම සඳහා දිනයක් ලබාදෙන ලෙසත් නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නා.

සාධාරණා නඩු විභාගයක් ලබාගැනීම සඳහා තම සේවා දායකයාට අනෙක් විත්තිකරුවන්ටද හිමි අයිතිවාසිකම හිමිවන බව සඳහන් කළ නීතිඥවරයා ආරක්ෂක ලේකම්වරයා කුමන ආකාරයක නියෝග නිකුත් කළත් ඒවා සාධාරණ නඩු විභාගයක් වෙනුවෙන් අධිකරණය විසින් නිකුත් කරනු ලබන නියෝග වලට යටත්ව ක්‍රියාත්මක විය යුතු බවත් පෙන්වා දුන්නා.

ඒ, අනුව සංජය ආරියදාස, අමිලා උදයංගනී, පුබුදු රන්දිම සහ බුද්ධික චන්ද්‍රසේකර යන නීතිඥවරු අතරින් එක් වරකට නීතිඥවරු දෙදෙනෙකුට විත්තිකරු හමුවී අවශ්‍ය උපදෙස් ලබාගැනීමට අවශ්‍ය ප්‍රවේශය ලබාදෙන ලෙස නියෝග නිකුත් කරන ලෙසත් නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා.

තුන්වන විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා සඳහන් කළේ තම සේවාදායකයාට කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරය තුළ ආරක්‍ෂාව සම්බන්ධයෙන් බරපතළ තර්ජනයක් පවතින හෙයින් ඉන් පරිභාහිර බන්ධනාගාරයක ඔහු රඳවා තැබීමට හැකි නම් එය යෝග්‍ය බවයි.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහාධිකරණ විනිසුරුවරයා අධිකරණය මගහැර සිටින රවිදු සන්දීප නමැති විත්තිකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා වරෙන්තු නිකුත් කිරීමටද නියෝග කළා.

ඉන් අනතුරුව හරක් කටා නමැති විත්තිකරු තංගල්ල පැරණි බන්ධනාගාරයේ ත්‍රස්ත විමර්ශන කාර්යාංශයේ අධ්‍යක්ෂකවරයා යටතේ එහි ස්ථානාධිපතිවරයා භාරයේ රඳවා තැබීමට නියෝග කළ අතර, සතියේ දිනවල පෙරවරු 9.30 සහ පස්වරු 4.00 දක්වා කාල සීමාව තුළ විත්තිකරු විසින් නම් කරනු ලබන නීතීඥවරුන්ට ඔහු හමු වී උපදෙස් ලබාගැනීමට අවශ්‍ය ප්‍රවේශය ලබා දෙන ලෙසත් නියෝග කළා.

එසේම විත්තිය නීතිඥවරයා කළ ඉල්ලීමක් පිළිගත් විනිසුරුවරයා විත්තිකාර හරක් කටා නමැත්තා අසනීප තත්ත්වයක් සම්බන්ධයෙන් පැමිණිලි කරන්නේ නම් ඒ සම්බන්ධයෙන් රජයේ වෛද්‍යවරයෙකුගේ පරීක්ෂාවට යොමු කරන ලෙසත් ත්‍රස්ත මර්ධන කාර්යාංශයේ ස්ථානාධිපතිවරයාට නියම කළා.

ඉන් අනතුරුව නඩුව යළි අප්‍රේල් මස 26 වන දා කැඳවීමටද අධිකරණය විසින් නියම කරනු ලැබුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂය දඩයම් කරලා හිරේ දාන්න ආණ්ඩුව සූදානම් වෙනවා
03:56
Video thumbnail
මෛත්‍රිපාලගේ නිල නිවස සිල්ලර බඩු කඩයකට දෙන්නද යන්නේ ?නලින්දටත් හිනා ගිය ප්‍රශ්නය
01:12
Video thumbnail
ගුරුවරුන්ට බලපෑම් කරලා අමතර පංති පවත්වන එක වහාම නවත්වන්න
04:15
Video thumbnail
ඉෂාරා සෙව්වන්දි මාංචුත් නැතුව බැංකොක් යනවා වගේ ගියේ - නලින්දට කට උත්තර නැතිවුණ ප්‍රශ්නය
01:20
Video thumbnail
කොළඹ දිස්ත්‍රික් සැලසුම් කමිටුව අගමැතිනිගේ ප්‍රධානත්වයෙන් රැස්වෙයි
04:33
Video thumbnail
විනිසුරු විශ්‍රාම වයස නිසා කැබිනට් මාධ්‍ය හමුව උණුසුම් ?අහන්න ඕනි දිලිත්, ගම්මන්පිල, විමල් දාලද ?
06:40
Video thumbnail
මහානායකහිමියන්ලා දෙබිඩි පිළිවෙතක්ද අනුගමනය කරන්නේ ?නෑ නේද ? ඒ ප්‍රශ්නය Thumbnail කරන්න එපා
05:36
Video thumbnail
සජිත් ආණ්ඩුව සැරටම අමතයි - ආණ්ඩුව IMF එකේ සුරතලා වෙලා
10:51
Video thumbnail
මහානායකහිමියන්ගේ ලිපිය ඇයි මාධ්‍යයට නිකුත් නොකළේ ?ලිපිය ජනපතිට ගියා..නලින්ද කියයි ?
05:02
Video thumbnail
වැරදි කරපු කරපු දඬුවම් ලැබෙනවා - ඒකට තමයි විපක්ෂය බයවෙලා ඉන්නේ
07:25