කොටින්ටත් මරන්න බැරි වූ ඒ.එස්.පී. එරික්ට වෙන්නප්පුවේදි වෙච්ච දෙයක්

පොලිසියේ ලොක්කා පොලිස්පති වුවත් පොලිස්පතිට වඩා රට්ටු දන්නා ජනප්‍රිය චරිතය වන්නේ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණය. ඔහු හැරුණුකොට මේ දිනවල මුළු රටම කතා කරන පොලිස් නිලධාරියෙක් වේ නම් ඒ සහකාර පොලිස් අධිකාරි එරික් පෙරේරාය.

විශේෂ කාර්ය බළකායේ රාජකාරි කරන සමයේ ඔහුගේ නම අපට හොඳට හුරු පුරුදුය. ඒ එකල ඔහු කල වීර ක්‍රියා නිසාය. කාලයාගේ වැලිතලාවෙන් වැසී ගිය ඔහුගේ නම පළමු වරත් කරළියට ආවේ දේශපාලන මැදිහත් වීමකින් ඔහු මාරු කළ බවට එල්ල වූ චෝදනාව සමගය.

වෙන්නප්පුවේ සහකාර පොලිස් අධිකාරි ලෙස රාජකාරි කළ එරික් පෙරේරා ගිය සතියේ සිට සේවය කරන්නේ මීගමුවේය. ඒත් ඔහුට හදිසි මාරුවක් ලැබෙන්නේ වෙන්නප්පුවේ කසිප්පුකාරයෙක් ඇල්ලීමේ වරදට බව පැවසේ.

කවුද මේ එරික් පෙරේරා වෙන්නප්පුවේ උපන් ඔහු වෙන්නප්පුව සාන්ත ​ජෝසප් වාස් විද්‍යාලයේ ආදි සිසුවෙකි. පාසල් අධ්‍යාපනයෙන් පසු ඔහු එක් වන්නේ පොලිස් විශේෂ කාර්ය බළකායටය. ඒ 2002 පැවති සටන් විරාම සමයය. සටන් විරාමයේ කොන්දේසි අනුව ආරක්ෂක හමුදාවෝ කඳවුරුවලට කොටු කෙරුණි. නමුත් එල්.ටී.ටී.ඊ.ය අවි අතදරා හමුදා පාලන ප්‍රදේශවලට ආව ගියෝය.

එවකට කාන්චන්කුඩා පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුර භාරවූයේ එවකට පොලිස් පරීක්ෂකයෙක් වූ එරික් පෙරේරාටය. දිගින් දිගටම කඳවුරු ඉදිකරන්නට භාණ්ඩ රැගෙන යන එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් ට්‍රැක්ටර් පරීක්ෂා කරන්නට එරික් පෙරේරා තමා භට කණ්ඩායම් යෙදවිය. එය නොරිස්සු කොටි තම ගමනට බාධාවක් වූ කාන්චන්කුඩා කඳවුර වට කළහ. විරෝධතා කරමින් කඳවුරට කඩා වැදීම කොටින්ගේ අරමුණ විය. ඊට කොටි හිතවාදින්ද සිවිල් වැසියන් ලෙස එක්කරගත්හ.

කඳවුරු භූමියට කිසිවකු හෝ ඇතුළු වුවහොත් නිර්භයව වෙඩි තබන්නැයි පොලිස් පරීක්ෂක එරික් පෙරේරා සිය සෙබළුන්ට නියෝග කළේය. ඔහුගේ නියෝග පරිදි ​සෙබළු කඳවුරට කඩාපැනපු එල්.ටී.ටී.ඊ.යට වෙඩි තැබීය. පළමුවෙන්ම වෙඩිල්ල පත්තු කළේ එරික් පෙරේරාය. විශේෂ කාර්ය බළකා ප්‍රහාරයෙන් නව දෙනෙක් මිය ගියහ. එයින් පසුව කොටි ත්‍රස්තයන් කඳවුරු වටකරන්නට පැමිණියේ නැත. සටන් විරාමයට බියෙන් අවි හංගාගෙන සිටි සෙබළු එල්.ටී.ටී.ඊට බිය නැතිව ආයුද අතට ගත්තේ මේ ප්‍රහාරයෙන් පසුවය.

නමුත් සටන් විරාමය පැවතියදී සාම විරෝධී කටයුතු කළැයි චෝදනා එල්ල කර එරික් පෙරේරා ඇතුළු නිලධාරීන්ට වහාම කොළඹට ස්ථාන මාරුවක් ලැබුණි.

කොළඹ පැමිණියද ඔහුගේ රාජකාරිවල වෙනසක් නොවීය. එල්.ටී.ටී.ඊ.යට එරෙහිව කොළඹ මෙහෙයුම් ඇරැඹීය. එල්.ටී.ටී.ඊ.ය එරික් පෙරේරාගේ ඔත්තුකරුවන් මරා දමමින් ඔහු වෙත ළං වූවේය. එහෙත් ඔහු දන්න ශිල්පවලින් ජීවිතය බේරා ගත්තේය.

පසුව විශේෂ කාර්ය බළකායෙන් ඉවත් වී සාමාන්‍ය පොලිස් සේවයට එක් වූ එරික් පෙරේරා මිරිගම පොලිසියට ආවේය. එහි දී පස් පාතාලය සමග දිගටම හැප්පුණේය. මැති ඇමැතිවරුන්ගේ බලයෙන් ගොඩනැගුණු පස් පාතාලය මෙන්ම කසිප්පු ජාවාරමට එරෙහි විය.

නීතිය හරිහැටි ක්‍රියාත්මක කළ නිසා එරික්ව මිරිගමින් මාරු කෙරුණි. මිරිගමින් කසිප්පු, ගංජා, කුඩු උවදුර තුරන් කර දමා ගොස් මාස කිහිපයක් යද්දී මිරිගමම මළ ගෙයක් බවට පත් කළේ යළි හිසඑසවූ කසිප්පු ජාවාරමුන්ය. කසිප්පු විසවී එක දවසේ අටදෙනකු මියයද්දී මුළු ගමම මතක් කළේ එරික් මහත්තයා නැති පාඩුව ගැනය.

වත්තල පොලිස් ස්ථානාධිපතිව පත්ව පැමිණි පසුවද ඔහු සිය ක්‍රමය අතහැරියේ නැත. වත්තල මත්කුඩු, කසිප්පු ජාවාරමට තිත තබන්නට එරික් පෙරේරා කටයුතු කළේය. මැති ඇමැතිවරුන්ගේ දේශපාලන ව්‍යාපාරයන් පෝෂණය කළ මත්කුඩු කසිප්පු ජාවාරමුන් මට්ටු කළ නිසා එරික් පෙරේරාට දේශපාලනඥයන් එරෙහි විය.

ඔහු වත්තලින් සමුදෙන්නේ සහකාර පොලිස් අධිකාරි ලෙසින් උසස්වීම් ලබා ගෙනය. වෙන්නප්පුව, දංකොටුව ප්‍රදේශවල මහා පරිමාණ කසිප්පු ජාවාරම්වලට තිත තැබීමේ වගකීම පැවරුණේද එරික්ටය. වෙන්නප්පුව, දංකොටුව, අරක්ගත් මහා පරිමාණ සුළු පරිමාණ කසිප්පු ජාවාරම් වටලා කසිප්පු නැති කළේය.

වධකාගාර පවත්වාගෙන යමින් පොලිසියට අභියෝග කළ ‘ඕලු මරා’ නමින් හැඳින් වූ හොරොයින් ජාවාරම්කරුත් කොටු කරගත්තේ එරික් පෙරේරා යටතේය.

මේ සියලු මෙහෙයුම් ප්‍රදේශයේ මැති ඇමැතිවරුන්ට අභියෝගයක් විය. ඔවුන්ගේ ඡන්ද සටනේ අතදිගහැර වියදම් කළ මහා පරිමාණ කසිප්පු ජාවාරමුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වීම ඔවුනට දරාගත නොහැකි විය.

මේ අතරේ වෙන්නප්පුවේ ප්‍රාදේශීය සංවර්ධන කමිටුවේ දී වැවිලි රාජ්‍ය ඇමැති අරුන්දික ප්‍රනාන්දු අපූරු යෝජනාවක් කළේය.

සුළු පරිමාණයෙන් කසිප්පු ජාවාරම කරන අයටවත් විකල්පයක් හඳුන්වාදෙන තුරු සානුකම්පිතව බලා සහනයක් සලසන ලෙස රාජ්‍ය ඇමැතිවරයා ප්‍රසිද්ධියේ කළ ඉල්ලීමට සහකාර පොලිස් අධිකාරිවරයාගෙන් සැර පිළිතුරක් ලැබුණේය.

ගරු ඇමැතිතුමනි රාජ්‍ය ප්‍රතිපත්තිය අනුව අපිට කසිප්පු ව්‍යාපාරය ස්වයං රැකියවක් කරන්න බැහැ. නීතියෙන් ඒක කරන්න අමාරුයි. මොකද මේක මෙයා මහා පරිමාණ කෙනා මෙයා අඩු කෙනා කියලා කැටගරයිස් කරන්න අමාරුයි. මෙයාට අනුකම්පා කරන්න ඕන කියලා තීරණය කරන්න ගියොත් ඒ වාසිය සියලු දෙනා ගන්නවා. මෙහේ පොලිස් ස්ථානාධිපතිවරුන්ට කරන්න බැරිනම් මම එස්.ටී.එෆ්. හෝ හමුදාවේ සහාය අරන් මේක තුරන් කරනවා. රෙඩ් සෝන් එකක්. ලෙස නම් කර ඇති වෙන්නප්පුව ග්‍රීන් සෝන් එකක් කර කසිප්පු තුරන් කරන බවට තමා සපත කරන බවත් සහකාර පොලිස් අධිකාරි එරික් පෙරේරා ප්‍රසිද්ධියේ කියා සිටියේ රැස්ව සිටි ජනතාවගේ ඔල්වරසන් මැදය. වැඩි දවසක් යන්න මත්තෙන් එරික් පෙරේරාගේ කතාවට ප්‍රදේශයේ දේශපාලන බලධිකාරියෙන් උත්තර ලැබුණි.

‘‘වෙන්නප්පුව මැතිවරණ කොට්ඨාසය වෙනුවෙන් දේශපාලන කටයුතු කරන අප විසින් මහජනතාවගේ සුබසිද්ධිය උදෙසා කරන ඉල්ලීම් කිසිදු ලෙසකින් මායිම් නොකරන බව දන්වමි. මෙම සහකාර පොලිස් අධිකාරිවරයා සඳහා පොලිස් පරීක්ෂක දක්ෂිණ, උප පොලිස් පරීක්ෂක මධුෂංක, උප පොලිස් පරීක්ෂක ගිහාන් යන අය වහාම ක්‍රියාත්මක වන පරිදි විනය පරීක්ෂණයක් කර හලාවත මැතිවරණ කොට්ඨාසයෙන් බැහැරට ස්ථාන මාරුවීමක් ලබාදෙන ලෙස ඉල්ලමි.’’ යනුවෙන් රාජ්‍ය ඇමැති අරුන්දික ප්‍රනාන්දු ලිඛිතවම මහජන ආරක්ෂක ඇමැතිවරයා හා පොලිස්පතිවරයාට දන්වා යැව්වේය.

අන්තිමේ දී සිද්ධ වුණේ නීතිය ක්‍රියාත්මක කරන්නට ගිය එරික් පෙරේරාට සේවා මාරුවක් ලැබීමය.

පොලිසියේ කීර්තිනාමය රකින්නට සටන් කළ එරික් පෙරේරාට අන්තිමේ දී සිද්ධ වුණේ 2002 දී කාන්චන්කුඩාහිදි නිල ඇඳුමේ අභිමානය පෙන්වන්නට ගොස් වූ දේමය. එසේ බලන විට ආණ්ඩු මාරු වුවත් ඇමැතිවරු මාරු වුවත් පොලිස්පති මාරු වුවත් තවමත් කෙරෙන්නේ පරණ දෙයමය.

තිස්ස රවීන්ද්‍ර පෙරේරා



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20
Video thumbnail
පන්සලේ විදුලි බල්බ නිවලා චෛත්‍යයේ කොත සහ චූඩාමාණික්‍යය හොරු උස්සලා
01:47
Video thumbnail
රුවන්වැලි මහසෑ නායක හිමියන් ළමා දිනය වෙනුවෙන් කළ අපූරු ක්‍රියාව
14:57
Video thumbnail
නපති ප්‍රධානත්වයෙන් අරඹපු කටුනායකට ගුවන් යානා ඉන්ධන ගෙන යන නව නළ මාර්ගයේ ඉදිකිරීම
01:06
Video thumbnail
සුනිත්‍ය බලශක්ති අධිකාරිය අද බුදියගෙන - වහල මත සූර්ය පැනල ගහන එකේ දොර වහන්න හදන්නේ
04:25