‘පියුමා’ සමඟ ළඟින් ඇසුරු කළ කතක් ගුවන්තොටේ දී අත්අඩංගුවට (වීඩියෝ)

මේ වන විට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තු භාරයේ පසුවන පියුම් හස්තික නොහොත් ‘පියුමා’ නැමැති අපරාධ කල්ලි සාමාජිකයා සමඟ සමීප සම්බන්ධතා පැවැත් වූ කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඩුබායි සිට ඊයේ (16) රාත්‍රි 11.45ට මෙරටට පැමිණි ගුවන් යානයෙන් දිවයිනට පැමිණීමෙන් පසු කටුනායක ගුවන් තොටුපොළේ දී එම කාන්තාව අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් 22 හැවිරිදි මෙම තැනැත්තිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු අත්අඩංගුවේ පසුවන සළිඳු මල්ෂික නොහොත් ‘කුඩු සළිඳු’ නැමැති සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයාගේ ප්‍රධානතම ගෝලයා ලෙස හැදින්වෙන පියුම් හස්තික නොහොත් ‘පියුමා’ ඩුබායි හිදී අත්අඩංගුවට ගෙන පසුගිය 15 වනදා අලුයම මෙරටට රැගෙන එනු ලැබුවා.

මොහු, කුඩු සළිඳු වෙනුවෙන් ඩුබායි හි රැදී සිටිමින් මෙරට කුඩු ජාවාරම ඇතුළු අපරාධ මෙහෙයවා ඇති බවයි අනාවරණය කරගෙන ඇත්තේ.