රොෂාන්ට අධිකරණය කල් ලබාදෙයි

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ සිදු කළ ප්‍රකාශයකින් අධිකරණයට අපහාසයක් සිදු කර ඇති බවට චෝදනා කර හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාට එරෙහිව ගොනුකර තිබෙන පෙත්සමට අදාළ විරෝධතා තිබේ නම් ඒවා දෙසැම්බර් මස 15 වනදාට පෙර ගොනුකරන ලෙස අභියාචනාධිකරණය නියෝග කර තිබෙනවා.

මෙම පෙත්සම අද මොහොමඩ් ලෆාර් තාහීර් සහ ඛේමා ස්වර්ණාධිපති යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේයි අද කැඳවනු ලැබුවේ.

එහිදී පෙත්සම්කාර නීතිඥවරිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ චන්දක ජයසුන්දර මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් ඉල්ලා සිටියේ මෙම පෙත්සමට අදාළ නොතීසි වගඋත්තරකරු වෙත යවා තිබෙන බවත් ඒ අනුව පෙත්සම සම්බන්ධයෙන් අද දින කරුණු තහවුරු කිරීමට අවසර දෙන ලෙසටයි.

එම ඉල්ලීමට වගඋත්තරකාර රොෂාන් රණසිංහ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උදිත ඉගලහේවා මහතා දැඩි විරෝධය පළ කළා.

මෙම පෙත්සමට අදාළ නොතීසි තම සේවාදායකයා වෙත ලැබී නොමැති බවත් පෙත්සම අද දින කරුණු තහවුරු කිරීම සම්බන්ධයෙන් තමන් විරුද්ධ වන බවත් ජනාධිපති නීතිඥ ඉගලහේවා මහතා සඳහන් කළා.

මෙහිදී ජනාධිපති නීතිඥ චන්දක ජයසුන්දර මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින්

” ස්වාමීනි… මෙම නඩුකරයට අදාල නොතීසි කුරියර් සේවාව මාර්ගයෙන් වගඋත්තරකරු වෙත යොමු කළා. වගඋත්තරකරු එම ස්ථානයේ නොසිටි නිසා එහි සිටි ආරක්ෂක නිලධාරීන් නොතිසි භාර ගැනීම ප්‍රතික්ෂේප කර තිබෙන බව සටහන්වල සඳහන් වෙනවා. මෙය හදිසි නඩු කටයුත්තක්. වගඋත්තරකාර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවා වී දිගින් දිගටම අධිකරණයට අපහාසාත්මක ප්‍රකාශ සිදු කරනු ලබනවා. පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශයක් සිදු කළ වග උත්තරකරු අභියාචනාධිකරණයේ 301 ශාලාවේ අකටයුතුකම් සිදු වන බවට ප්‍රකාශයක් සිදුකළා. එම ප්‍රකාශය ඔහුගේ මුහුණුපොතේ තවමත් ප්‍රචාරය වෙමින් තිබෙනවා. පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවා වී මේ ආකාරයෙන් ප්‍රකාශ සිදු කිරීම සඳහා ඉඩදිය නොහැකියි.” යනුවෙන් සඳහන් කළ ජනාධිපති නීතිඥ ජයසුන්දර මහතා මෙම නඩුව අද දිනයේ කරුණු තහවුරු කිරීමට අවසර දෙන ලෙස ඉල්ලා සිටියා.

ශ්‍රී ලංකා නීතිඥ සංගමය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නවීන් මාරපන මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින්,

” ස්වාමීනි මෙම නඩුකරය මාර්ගයෙන් වැදගත් ප්‍රශ්නයක් විසඳීමට නියමිතව තිබෙනවා. පාර්ලිමේන්තු වරප්‍රසාද වලට මුවාවී සිදුකරන ප්‍රකාශ සම්බන්ධයෙන් අධිකරණයට අපහාස කිරීම යටතේ නීතිමය පියවර ගත හැකිද යන ප්‍රශ්නය දැන් අධිකරණයට විසඳීමට සිදුව තිබෙනවා. වගඋත්තරකරු විසින් සිදුකළ ප්‍රකාශය සුළුවෙන් තකන්න බැහැ. වගඋත්තරකරු පාර්ලිමේන්තුවේ සිදුකළ ප්‍රකාශයේ “දූෂිතයින්ට පෙනී සිටින නීතිඥයිනුත් දුෂිතයි” යනුවෙන් සඳහන් කර තිබෙනවා. මේක අධිකරණයට මෙන්ම නීතිඥ වෘත්තියටත් සිදුකරන ලද බලපෑමක්.”

එබැවින් ශ්‍රී ලංකා නීතිඥ සංගමයට මෙම නඩුකරයට මැදිහත් වී කරුණු දැක්වීමට අවසර දෙන ලෙසත් ජනාධිපති නීතිඥ නවීන් මාරපන මහතා සඳහන් කළා.

පෙත්සම්කාර පාර්ශවයේ සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් ඉදිරිපත් කළ කරුණු සම්බන්ධයෙන් වගඋත්තරකාර රොෂාන් රණසිංහ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උදිත ඉගලහේවා මහතා දැඩි විරෝධය පළකර සිටියා.

” ස්වාමීනි…. මාගේ සේවාදායකයාට නොතීසි ලබාදුන් බව පෙත්සම්කරු ප්‍රකාශ කළත් ඒවා තවම ලැබී නැහැ. ක්‍රිකට් අතුරු පාලක කමිටුවට එරෙහි නඩුවේ දීත් මෙහෙම තමා කටයුතු කළේ. එම නඩුවේ පෙත්සම්කාර පාර්ශවය වගඋත්තරකරුවන්ට නොතිසි ලබාදුන් බව අධිකරණය ප්‍රකාශ කළත් එම නොතීසි ලැබී තිබුණේ නැහැ. මේ අවස්ථාවේදී ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ මැදිහත් වීමට කරනු ලබන උත්සාහය අනුමත කරන්න බැහැ. මෙම නඩුව සඳහා පෙනී සිටීමට නීතිඥ සංගමයේ විධායක කමිටුවේ අනුමැතියක් තියෙනවද? කියා මම දැනගන්න කැමතියි. මාගේ සේවාදායකයාට නොතිසි ලබා දීමට පෙර නීතිඥ සංගමය මැදිහත් වීමට ඉඩදීම සම්බන්ධයෙන් මම විරුද්ධ වෙනවා. නීතිඥ සංගමයට මේ ආකාරයෙන් කටයුතු කිරීමට හැකියාවක් නෑ”

යනුවෙන් සඳහන් කළ ජනාධිපති නීතිඥ උදිත ඉගලහේවා මහතා තම සේවාදායකයාට විරෝධතා ගොනු කිරීම සඳහා දිනයක් ලබා දෙන ලෙසත් ඉල්ලා සිටියා.

මෙම අවස්ථාවේදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ චන්දක ජයසුන්දර මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් ඉල්ලා සිටියේ වගඋත්තරකරු පාර්ලිමේන්තු වරප්‍රසාද වලට මුවාවී දිගින් දිගටම අධිකරණයට අපහාසාත්මක ප්‍රකාශ සිදුකරමින් සිටින හෙයින් මෙම නඩුව සලකා බැලීම සඳහා කඩිනම් දිනයක් නියම කරන ලෙසටයි.

ඒ අනුව මෙම පෙත්සමට අදාළ විරෝධතා තිබේ නම් ඒවා දෙසැම්බර් මස 15 වනදාට පෙර ගොනුකරන ලෙසත් ඉන් අනතුරුව පෙත්සම ජනවාරි මස 03 වන දා පෙත්සම සලකා බැලීම සඳහා කැඳවන බවත් විනිසුරු මඩුල්ල නියෝග කළා.

නීතිඥ දිමිත්‍රි ශිරාස් ඔගස්ටස් පිට්‍රාංජලී විසින් මෙම පෙත්සම ඉදිරිපත් ගොනු කර තිබෙනවා.

එහි වගඋත්තරකරු ලෙස හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා නම් කර තිබෙනවා.

පෙත්සම්කාර පාර්ශවය කියා සිටින්නේ ඉකුත් 8 වනදා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් සිදුකළ එවක ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විසින් අභියාචනාධිකරණය සභාපති විනිසුරු වරයාට අපහාසයක් වන ආකාරයෙන් කරුණු ඉදිරිපත් කර ඇති බවයි.

එම ප්‍රකාශය තුළින් හිටපු අමාත්‍යවරයා අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයාගේ චරිතයට සහ ඔහුගේ වෘත්තීය ජීවිතයට දැඩි අගතියක් මෙන්ම හානියක් සිදුකර ඇති බවත් පෙත්සමේ සඳහන් වෙනවා.

පාර්ලිමේන්තු සම්ප්‍රදාය ප්‍රකාරව උපරිමාධිකරණ විනිසුරුවරු සම්බන්ධයෙන් මෙවැනි ප්‍රකාශයන් සිදු කිරීමට හැකියාවක් නොමැති බවත් පෙත්සමේ සඳහන්.

ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 105 (3) ව්‍යවස්ථාව ප්‍රකාරව අමාත්‍යවරයා විසින් අධිකරණයට අපහාසයක් සිදු කර ඇති බවත් පෙත්සමේ සඳහන් වෙනවා.

ඒ අනුව මෙම කරුණු සම්බන්ධයෙන් වග උත්තරකාර අමාත්‍යවරයා වෙත අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් දඬුවම් නොකිරීමට හේතු විමසා නොතීසි නිකුත් කරන ලෙසත් අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් ඔහුට එරෙහිව සුදුසු දඬුවම් පමුණුවන ලෙසත් පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලා තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20