ICCය ශ්‍රී ලංකා ක්‍රිකට් සාමාජිකත්වය තහනම් කරයි

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා ක්‍රිකට් සාමාජිකත්වය අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.

ඒ පිළිබඳව දැනුම් දෙමින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නිල නිවේදනයක් අද (10) නිකුත් කරනු ලැබුවා.

ICC මණ්ඩලය අද රැස්වී තීරණය කළේ ශ්‍රී ලංකා ක්‍රිකට් සාමාජිකයෙකු වශයෙන් එහි වගකීම්, විශේෂයෙන්ම එහි කටයුතු ස්වාධීනව කළමනාකරණය කිරීමේ අවශ්‍යතාවය සහ රාජ්‍ය පාලනය, නියාමනය හෝ පරිපාලනය සම්බන්ධයෙන් රජයේ මැදිහත්වීමක් නොමැති බවට සහතික වීම බරපතල ලෙස උල්ලංඝනය කර ඇති බවයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් හි සාමාජිකත්වය අත්හිටුවීමේ කොන්දේසි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ඉදිරියේදී දැනුම් දීමට නියමිතව ඇති බව එම නිවේදනයේ සඳහන්.

මේ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද පාර්ලිමේන්තුවේදී අනාවරණ කළේ ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා ජාත්‍යන්තර තහනමක් පැනවීමේ කුමන්ත්‍රණයක් පවතින බවටයි.

ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපති, ඉන්දීය ක්‍රිකට් ආයතනයේ ලේකම් ජේ ෂා හරහා පැය 72ක් ඇතුළත ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා මෙලෙස තහනමක් පැනවීමට පිරිසක් කටයුතු කරමින් සිටින බවයි විපක්ෂ නායකවරයා එහිදී සඳහන් කළේ.

කොළඹ ප්‍රධාන පෙළේ හෝටලයක කාමරයකට රැස්වූ ගජමිතුරු කල්ලියක් මෙම සාකච්ඡාව පවත්වා ඇති බව ද විපක්ෂ නායකවරයා ප්‍රකාශ කළා.

ඊට ප්‍රතිචාර දක්වමින් ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ කියාසිටියේ එලෙස කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වුවහොත් අන්තර් පාලක මණ්ඩලයේ කටයුතු අවසන් කර මාස 06ක් හෝ 08ක් ඇතුළත කඩිනමින් නිලවරණයක් පැවැත්වීමට කටයුතු කරන බවයි.

2023 ක්‍රිකට් ලෝක කුසලාන බලාපොරොත්තු සුන් වූ ශ්‍රී ලංකා කණ්ඩායම අද උදෑසන දිවයිනට ළඟා වුණා.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පරාජය වීම පිටුපස එක්තරා කණ්ඩායමක් සිටි අතර ඔවුන්ගේ කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙළ නිසා මෙම පරාජය අත් වූ බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තේරීම් කමිටුවේ සභාපති ප්‍රමෝද්‍යය වික්‍රමසිංහ මහතා කටුනායක ගුවන් තොටුපොළේ දී අද ප්‍රකාශ කළේ.

ඔවුන් ශ්‍රී ලංකා ක්‍රිකට් තම ග්‍රහණයට ගැනීමට උත්සාහ කරන බවත් මේ පිළිබඳ සියලු තතු තව දින දෙකකින් ප්‍රසිද්ධ මාධ්‍ය හමුවේ ප්‍රකාශ කරමින් ශ්‍රී ලාංකීය ජනතාවට දැන ගැනීමට සළස්වන බව ඔහු එහිදී කියාසිටියා.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද අලුයම 05.05ට ඉන්දියාවේ බැංගලෝර් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ UL- 174 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් කීප දෙනෙකු ඔවුන් පිළිගැනීම සදහා කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තය වෙත පැමිණ සිටි බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

ඔවුන් වෙනුවෙන් කටුනායක ගුවන් තොටුපොළෙන් පිටව යාම සදහා පොදු බස් රථයක් සූදානම් කර තිබුණ ද බොහෝ ක්‍රීඩකයින් තම පෞද්ගලික මෝටර් රථ වලින් සිය නිවෙස් බලා පිටත්ව ගිය අතර මොවුන් වෙනුවෙන් කටුනායක ගුවන් තොටුපොළ සහ ඒ අවට වැඩි ආරක්ෂක නිලධාරීන් පිරිසක් යොදවා තිබුණු බවයි වාර්තා වුණේ.

මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කෝප් කමිටුව හමුවට කැඳවීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව නොවැම්බර් මස 14 වන දින පස්වරු 2ට කමිටුව හමුවේ පෙනී සිටින ලෙසයි කෝප් කමිටුවේ සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා දැනුම් දී තිබෙන්නේ.

මේ අතර “දූෂිත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙහි සභාපති ඇතුළු නිලධාරී මණ්ඩලය ඉවත්කිරීම” යන මැයෙන් පාර්ලිමේන්තුවට ගෙන ආ යෝජනාව ඊයේ ඒකමතිකව සම්මත කෙරුණා.

විපක්ෂ නායකවරයා විසිනුයි මෙම යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවේ.

ඊයේ දිනය පුරා මෙම යෝජනාවට අදාළ විවාදය පැවති අතර අනතුරුව එය ඡන්ද විමසීමකින් තොරව සම්මත කෙරුණා.

කතානායකවරයා මෙහිදී පාර්ලිමේන්තුවේ මතය විමසා සිටි අතර සභා නායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග සඳහන් කළේ විපක්ෂය විසින් ගෙන ආ යෝජනාව ආණ්ඩු පක්ෂය විසින් ස්ථිර කර ඇති බැවින් එය සම්මත වන බවයි. අනතුරුව යෝජනාව සම්මත වූ බව කතානායකවරයා පාර්ලිමේන්තුවට නිවේදනය කළා. මෙම අවස්ථාවේ ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන් පාර්ලිමේන්තුවට පැමිණ සිටියේ නැහැ.

නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදීයි “දූෂිත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙහි සභාපති ඇතුළු නිලධාරී මණ්ඩලය ඉවත්කිරීම” යන මැයෙන් මෙම යෝජනාව ගෙන ඒමට තීරණය කෙරුණේ.

මේ අනුව විවාදයට අදාළ යෝජනාව විපක්ෂ නායකවරයා විසින් ඉදිරිපත් කිරීමටත් ආණ්ඩු පාර්ශ්වය විසින් එය ස්ථීර කිරීමටත් එකගත්වය පළ වී තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මුළු නුවරඑළියම මීදුමෙන් වැසී යයි
01:26
Video thumbnail
මෛත්‍රීට බේරිලා යන්න දෙන්න බෑ - නීතිය ක්‍රියාත්මක කරන්න ඕනේ
10:39
Video thumbnail
නාමල්ට එන චෝදනාවලට පොහොට්ටුවෙන් CIDට පැමිණිල්ලක් - "ආණ්ඩුව දන්නවා නාමල් මේක අතට ගන්නවා කියලා"
05:13
Video thumbnail
නුවරඑළිය ග්‍රෙගරි වැවේ බෝට්ටු පැදීම තහනම් කරයි
01:10
Video thumbnail
දයාසිරි, බිමල් පැටලෙයි - හිනාවෙන්න එපා, ගිහින් ඉගෙනගෙන එන්න
13:27
Video thumbnail
නලින්ද - සජිත්ට දුන්න සැර හින්ට් එක - සජිත් ප්‍රේමදාස නින්දෙන් ඇහැරුණා වගේ
02:42
Video thumbnail
නාය ගිය තැන බලන්න ආණ්ඩුවේ ප්‍රබලයෙක් දුවගෙන එයි
04:19
Video thumbnail
විනිසුරු විශ්‍රාම වයස ගැන මහා නාහිමියන් ආණ්ඩුවට කිව්ව දේ මෙන්න - "විරුද්ධ නෑ - සතුටු වුණා"
07:09
Video thumbnail
මහින්දගේ ලොකු පුතාටත් නඩු දාන්න කියන්නකෝ - එතකොට ඉවරයිනේ
00:45
Video thumbnail
පරිසරවේදින් හා සභාවේ සේවකයෙකු අතර උණුසුම් තත්ත්වයක් - "ගඟ බලන එකා මගේ අම්මට ###"
04:43