එක්දින ක්‍රිකට් ලෝක කුසලානයේ ප්‍රසාද ලකුණු සටහනේ පස්වැනි තැන හිමිකරගෙන සිටින පාකිස්ථානයට අද අමිහිරි පරාජයක වේදනාව විඳගන්නට සිදු වුණා.
ඒ අද චෙන්නායි හිදී පැවති තරගාවලියේ 22 වැනි තරගයෙන් කඩුලු 08ක දැවැන්ත පරාජයක් ඇෆ්ගනුන්ගෙන් උරුම වීම නිසාවෙන්.
තරගයේ කාසියේ වාසිය දිනූ පාකිස්ථාන නායක බාබර් අසාම් පළමු ව පිත්ත අතට ගත්ත ද, ඔවුන් සිතූ තරම් වේගයෙන් ලකුණු අතරට ඒමට ඇෆ්ගන් පන්දු යවන්න්නන් ඉඩකඩ ලබා දුන්නේ නැහැ.
පීඩනාත්මක පන්දු යවමින් පාකිස්ථානයේ ලකුණු 300 සීමාව පහතට ඇද දමන්නටයි ඇෆ්ගනුන් සමත් වුණේ.
එහි ප්‍රතිඵලය වූයේ පාකිස්ථාන කණ්ඩායම පන්දුවාර 50 නිමා වෙද්දී කඩුලු 07ක් දැවී ලකුණු 282ක් ලබා ගැනීමයි.
පාකිස්ථානය වෙනුවෙන් වැඩිම ලකුණුලාභියා වූයේ නායක බාබර් අසාම්.
ඔහු ලකුණු 74ක් ලබාගත්තා.
Abdullah Shafique විසින් ලබාගනු ලැබූ ලකුණු සංඛ්‍යාව 58ක්.
ශඩබ් ඛාන් සහ ඉෆ්තිකර් අහමඩ් එක්ව වේගවත් ලකුණු 40 බැගින් රැස් කළ ද, එය ඔවුන්ගේ ලකුණු පුවරුව 300ක් දක්වා කරකවන්නට අසමත් වුණා.
අෆ්ගන් කණ්ඩායමේ වැඩිම කඩුලුලාභියා වූයේ නූර් අහමඩ්.
ඔහු කඩුලු 03ක් ද, නවීන් කඩුලු 02ක් ද, නබි සහ ඔමර්සායි එක් ව එක් කඩුල්ල බැගින් බිඳ දැමුවා.
තරගය ජයග්‍රහණයට ලකුණු 283ක සැලකිය යුතු ඉලක්කයක් හඹා යාම ආරම්භ කල ඇෆ්ගන් කණ්ඩායමේ පළමු කඩුල්ල දවා ගැනීම පාකිස්ථාන කණ්ඩායමට දැඩි හිසරදයක් වූ බව නම් කිව යුතුයි.
ඊට හේතුව ගුර්බාස් සහ සද්‍රාන් එක් ව පළමු කඩුල්ලට දැවැන්ත ලකුණු 130ක සබඳතාවක් එකතු කළා.
එය බිඳ වැටුණේ ගුර්බාස් ලකුණු 65කට දැවී යාමෙන්.
දෙවැනි කඩුල්ල ලෙස දැවී ගියේ ලකුණු 87ක් අතැතිව සිටි ඊබ්‍රහීම් සද්‍රාන්.
ඉන් පසුව තරගය තමන් අතට ගැනීමට පාකිස්ථානය උත්සාහ කළ ද, එය දැඩි ග්‍රහණයෙන් යුතුව අල්ලා සිටිමින් සිය රට ජයග්‍රහණය කරා ඔසවා තබන්නට ශා සමගින් එක් වූ නායක හෂ්මතුල්ලාට හැකි වුණා.
නමුත් ඉන් අනතුරුව පිටියට පිවිසි රහ්මත් ෂා ප්‍රවේසම්කාරී ඉනිමක් ක්‍රීඩා කරමින් සිය එක්දින දිවියේ 24 වැනි අර්ධ ශතකයට ද හිමිකම් කිව්වා.
තරගය ජයග්‍රහණය කරන විට ඇෆ්ගන් කණ්ඩායමේ රහ්මත් ෂා නොදැවී ලකුණු 77ක් ද, නායක හෂ්මතුල්ලා නොදැවී ලකුණු 48ක් ද ලබා සිටියා.
අද තරගයේ පාකිස්ථානය විසින් ඇෆ්ගනුන්ගෙන් උදුරාගත් කඩුලු දෙකෙහි පිළිවෙළින් අයිතිකරුවන් වූයේ ෂහීන් ෂා අෆ්‍රිඩි සහ හසන් අලී පමණයි.
මෙම තරග ජය ඇෆ්ගනිස්ථානය පාකිස්ථානයට එරෙහි ව එක්දින ලෝක කුසලානයක දී ලැබූ පළමු මෙන් ම ඓතිහාසික ජයග්‍රහණයක් වනවා.
මීට අමතර ව පාකිස්ථානයට එරෙහි ව ජාත්‍යන්තර එක්දින තරග 07කට එක්ව ඇති ඇෆ්ගනිස්ථානය එම තරග 07ම පරාජයට පත්ව ඇති අතර, මෙම එක්දින තරග ජය එම පරාජයන්ට තිත තබමින් ලද මංගල එක්දින ජයක් ද වනවා.
ඒ අනුව ප්‍රසාද ලකුණු පුවරුවේ මෙතෙක් පැවති තරග 05කට එක්ව ඇති පාකිස්ථානය ඉන් තරග තුනක් පරාජයට පත් ව දෙකක් ජයග්‍රහණය කර තිබෙනවා.
ඇෆ්ගනිස්ථානය මුහුණදුන් තරග 05න් දෙකක් මේ සමග ජයගෙන පසුවන්නේ ඔවුන්ගේ කුළුදුල් එක්දින ලෝක කුසලානයේ ලැබූ විශිෂ්ට ජයග්‍රහණ ද්විත්වයක් ද සමගින්.




