කොකේන් සමග පිලිපීන ජාතිකයෙක් ඇතුලු දෙදෙනෙක් අත්අඩංගුවේ

නාරාහේන්පිට ප්‍රදේශයේ ලැගුම්හලකදී කොකේන් තොගයක් සමග පිලිපීන ජාතිකයෙකු ඇතුලු දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව ඊයේ (16) සවස වැටලීම සිදුකර ඇත්තේ රේගු මත්ද්‍රව්‍ය නිවාරණ කාර්යාංශ නිලධාරීන්ගේ ද සහාය ඇතිවයි.

28 හැවිරිදි සැකකාර පිලිපීන ජාතිකයා සතුව තිබී කොකේන් කිලෝ 2යි ග්‍රෑම් 294ක් සොයාගෙන තිබෙනවා.

මෙම මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කිරීමේදී පිලිපීන ජාතිකයාගෙන් මත්ද්‍රව්‍ය ලබා ගැනීමට එම ලැගුම්හල වෙත මෝටර් රථයකින් පැමිණි කිරුළපන ප්‍රදේශයේ පදිංචි 49 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගනු ලැබුවා.

ඒ එම පුද්ගලයා පැමිණි මෝටර් රථය සහ රුපියල් ලක්ෂ 7ක මුදලක් ද සමගයි. එම සැකකරු විදේශගතව සිටින ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේ උපදෙස් මත මෙම මත්ද්‍රව්‍ය රැගෙන යාමට පැමිණ ඇති බවටයි පොලිසිය හෙළි කරගෙන ඇත්තේ.

පිලිපීන ජාතික සැකකරු අද මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රැඳවුම් නියෝග ලබාගෙන පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

අනෙක් සැකකරු මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයයි වැඩිදුර පරීක්ෂණ සිදු කරන්නේ.