අධික උෂ්ණත්වයෙන් එප්පාවල තවත් මරණයක්

පවතින අධික උෂ්ණය නිසා තාප කම්පනයට පත්වීමෙන් මිය ගිය බවට සැක කරන තුන්වන මරණයත් එප්පාවලින් අද (26) වාර්තා වුණා.

අද (26) පස්වරුවේ, මෙලෙස මරණයට පත්ව ඇත්තේ එප්පාවල, ප්‍රදේශයේ පදිංචි 81 හැවිරිදි තිදරු පියෙක්.

ඔහු අද සුපුරුදු පරිදි තමන් පදිංචි නිවසේ සිට නිවස පිටුපස කුඹුර වෙත පෙරවරු 11ට පමණ ගොස් නැවත නොපැමිණීම හේතුවෙන් පස්වරු 2ට පමණ ඔහුගේ පුතු ඒ පිළිබඳව සොයා බැලීමේදී යි කුඹුරේ ලියද්දක් මත වැටී සිටි පියා හමුවී ඇත්තේ.

ඒ වන විටත් අධික උෂ්ණත්වය හේතුවෙන් දිය බිබිළි ශරීරයේ ස්ථාන කීපයක මතු වී තිබී ඇති අතර සිරුරේ හම ගැලවී ගොස් තිබූ බව සඳහන්.

මෙම පුද්ගලයා කඩිනමින් එප්පාවල රජයේ රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කළ ද ඒ වන විටත් ඔහු ජීවිතක්ෂයට පත්ව සිටි බවයි රෝහල් ආරංචි මාර්ග පවසන්නේ.

මෙම පුද්ගලයා සාමාන්‍යයෙන් නිවස පිටුපස පිහිටි කුඹුරේ පුතු හා දියණිය ගොවිතැන් කටයුතු කරන අයුරු බලාගෙන සිටීමට පැමිණෙන බවත් ඒ අවස්ථාවේදී මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවත් පවුලේ ඥාතීන් සඳහන් කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ මියගිය පුද්ගලයාගේ පුත්‍රයා..

මමත් වෙලේ වැඩ කර කර හිටියේ, තාත්තාට අමාරුවක් තිබුණේ නෑ, තාත්තා උදේට කාලා ගෙදරට වෙලා හිටියේ, මම 11ට විතර ගෙදර එද්දී තාත්තා හිටියා ගෙදර, මම සමිතියට ගිහින් ආයෙත් ඇවිත් වෙලට ගිහින් වැඩ කරලා ආවා. තාත්තා ගෙදර හිටියේ නෑ. ඊට පස්සේ මම තාත්තා නැති නිසා හැම තැනම බැලුවා.වෙලට ගිහින් බලන කොට තාත්තා වෙලේ වැටිලා හිටියා. මම තාත්තා උස්සගෙන ආවා. ඒ වෙලාවේ තද අව්ව තිබ්බා. අව්ව සැර නිසා තාත්තා ක්ලාන්ත වෙන්න ඇති. කරේ තියාගෙන එද්දී තාත්තාගේ ඇගේ දිය පට්ට තිබුනේ නෑ, ගෙදරට එද්දි දිය පට්ට ඇවිල්ලා. අව්ව නිසා තමයි එහෙම වෙලා තිබුණේ. තාත්තා වෙලට යන්නේ අක්කා හරි මම හරි වෙලේ වැඩ කරන ඒවා බලන්න. තාත්තාට වෙන අසනීප නෑ, තාත්තාට ක්ලාන්ත කැරකිල්ල ගතිය විතරයි තිබුණේ. අව්ව සැරේ යන්න ඇත්තේ තාත්තා. මං දැක්කා නම් ඔහොම වෙන්නේ නෑ…

සිද්ධිය සම්බන්ධයෙන් එප්පාවල පොලිසිය පරීක්ෂණ සිදු කරන අතර, මිය ගිය පුද්ගලයාගේ දේහය එප්පාවල ප්‍රාදේශීය රෝහලේ තැන්පත් කර ඇති අතර, පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිතයි.

පසුගිය දින 10 තුළදී ද එප්පාවල ප්‍රදේශයෙන් අධික උෂ්ණත්වය නිසා තාප කම්පන තත්ත්වයට පත්ව පුද්ගලයන් දෙදෙනකු මියගොස් තිබුණා.

එලෙස මරණයට පත් වුණේ අවුරුදු 34 සහ 38 වයස්වල පසුවූ එප්පාවල ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙක්.

පසුගිය 16 වනදා අවුරුදු උත්සවය කඹ ඇදීමේ තරඟයෙන් තෙහෙට්ටුවට පත්ව අයිස් වතුර හිසට වත් කර ගැනීමෙන් එප්පාවල, පහළ සියඹලෑව ප්‍රදේශයේ එක අයෙක් මිය ගිය අතර අනෙක් පුද්ගලයා 18 වැනි දින තම කුඹුරේ තණකොළ කැපීමට ගොස් අව්වේ සිට දිය නෑමෙන් පසුව ජිවිතක්ෂයට පත්ව තිබුණා.

ඒ සම්බන්ධයෙන් සිදුකරන ලද පශ්චාත් මරණ පරීක්ෂණවලදී හෙළි වී ඇත්තේ අධික උෂ්ණත්වය නිසා තාප කම්පන තත්වයකට පත්ව මරණ සිදුව ඇති බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14
Video thumbnail
පාරිභෝගිකයගේ පරිභෝජන රටාව අපිට බලපානවා - 1%ත් වඩා අඩුවෙන් විදුලියෙන් ධාවනය වන වාහන තියෙන්නේ
03:47
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි - එයාලා සීතල පුටුවල ඉන්නවා - අපි ජරාවේ ඉන්නවා
11:14
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46