ඉල් පුන් පසළොස්වක පොහොය දිනය අද. ලෝකවාසී බෞද්ධ ජනයාගේ සිත් සතන් සුපහන් කරවන ශාසනික වශයෙන් අනුස්මරණීය වූ සිදුවීම් කිහිපයක්ම ඉල් පුන් පොහොය දිනයේදී සිදු වුණා.
එකම ස්ථානයක දී දහසක් භික්ෂූන් අරහත්වයට පත් කරවූ තුන්බෑ ජටිල පිරිස දමනය කිරීම පිණිස අනුත්තර පුරිසදම්ම සාරථී වූ භාග්‍යවතුන් වහන්සේ ගේ ගමන් ඇරඹීම සිදු වුණෙත් ඉල් මස පෝය දිනයේදීමයි.
ඉල් පුන් පොහොය උදාවත්ම වස්සාන ඍතුව අවසන් වෙනවා. මීට වසර 2605කට පෙර උදා වූ ඉල් පුන් පොහෝ දිනයේ දී අප ශාස්තෘ වූ ගෞතම අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ විසින් ධර්ම ප්‍රචාරය සඳහා ප්‍රථම රහතන් වහන්සේලා හැටනම දඹදිව් තලය සිසාරා පිටත් කොට වදාළා.
පසුවස් සමාදන් වූ භික්ෂූන්ගේ පවාරණ දිනයත් මෙම ඉල් පොහොයට යෙදීම සිරිතක්. කඨිනාස්තරණ විනය කර්මය කළ හැකි අවසන් දිනය හෙවත් චීවර මාසයේ අවසාන දිනයත් ඉල් පොහොය දිනයයි.
මතු බුදු බව ලබන මෛත්‍රීය මහ බෝසතාණන් වහන්සේ ගෞතම බුදුරජුන්ගෙන් නියත විවරණ ලැබූ දිනය ලෙස සඳහන් වන්නේත් ඉල් පුර පසළොස්වක් පොහෝ දිනයයි.














