මහනුවර නුගවෙල පදිංචි මාස හතරක වයසැති බිළිඳෙකු කොවිඩ් ආසාදිතව මරණයට පත්ව තිබෙන බව පේරාදෙණිය ශික්ෂණ රෝහලේ හදිසි මරණ පරීක්ෂක අමල් ජයවර්ධන මහතා පවසනවා.
තිත්තපජ්ජල රෝහලේදී මෙම දරුවාට පසුගිය 12 දින මාස හතරේදී ලබා දෙන එන්නත ලබාදී ඇති අතර, උණ සමග හුස්ම ගැනීමේ අපහසුතා ඇතිවීම නිසා පසුදින පෙරවරුවේ දරුවා පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයක් වෙත රැගෙන ගොස් ප‍්‍රතිකාර ලබා දීමට මව පියවර ගෙන තිබුණා.එහිදී ප‍්‍රතිකාරවලින් සුව නොවීම නිසා එදින දහවල් එම දරුවා රෝහලට ඇතුළත් කර තිබෙනවා.
මෙහිදි දරුවාව ඇන්ටිජන් පරීක්ෂාවකට ලක්කර ඇති අතර ඔහුට කොවිඩ් ආසාදනය වී නොමැති බව තහවුරුව වුණා.පසුව පී.සී.ආර්. පරීක්ෂණයක්ද සිදුකර ඇති බවත් එදින රාත්‍රියේ දරුවා මියගිය බවත් ඔහුට කොවිඩ් ආසාදනය වී තිබෙන බව තහවුරු කරමින් වාර්තාව නිකුත් වූයේ මරණයට සිදුවූවාට පසු බවත් අමල් ජයවර්ධන මහතා සඳහන් කරනවා.
මෙම දරුවාගේ පියා ඉතාලියේ රැකියාවක් සදහා විදේශගතව ඇත්තේ දරුවා උපදින්නට මාස කිහිපයකට පෙර බවයි වාර්තා වන්නේ.දරුවා මියයන විට පියා එම දරුවාව දැක නොතිබූ බවත් මරණ පරීක්ෂකවරයා සඳහන් කරයි.
කොරෝනා ආසාදිතව මරණයට පත්වන පුද්ගලයන්ගේ මළ සිරුරු සම්බන්ධ පශ්චාත් මරණ පරීක්ෂණ සිදු නොකරන නමුත් මෙම දරුවා එන්නතක් ලබාදීමෙන් පසු හදිසියේ මරණයට පත්වීම නිසා පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදුකර වාර්තාවක් ලබාදෙන ලෙස තමන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අධිකරණ වෛද්‍ය විශේෂඥ මහචාර්ය සරත්චන්ද්‍ර කොඩිකාර මහතාගෙන් ඉල්ලීමක් කර ඇත.