වික්ටර් – හෂිනි පළමුවර මාධ්‍යට කියන දුක හිතෙන කතාව

ඇය සිය වියපත් සැමියා සමඟ දේව යාතිකා සිදුකරන යාඥා මධ්‍යස්ථානයකට ගොස් සිටියාය. එම වීඩියෝවේ අප දුටුවේ හඬා වැටෙමින් බිම වැටී සිය සැමියා වෙනුවෙන් යහපතක් ප්‍රාර්ථනා කරනා අසරණ ගැහැනියකි. ජීවිතයේ අත්හැරෙන්නට ආසන්නව ගිලී යනු ඇතැයි සිතෙන මොහොතක මිනිස්සු පිදුරු ගස්වල වුවද එල්ලෙති. එහෙත් ඒ පොදු යථාර්ථය ඔවුන්ට වලංගු කිරීමට සමාජය සූදානම් වූයේ නැත. ඒ, එම ගැහැනිය හෂිනි අමෙන්ද්‍රා රත්නායකවූ නිසාත් ඒ වියපත් සැමියා වික්ටර් රත්නායක වූ නිසාත්ය.

සිද්ධිය සමාජයේ මහා ආන්දෝලනයක් ඇති කළේය. මේ කියැවෙන්නේ දෙවිවරු වැනි වෛද්‍යවරුන්ගේ කැපවීමෙන් ජීවිතය ලද සිය වියපත් සැමියා අධ්‍යාත්මිකව සුවපත් කරනු සඳහා කැපවූ ආදරණීය බිරියකගේ කාටවත් නොඇසූණු මානුෂීය කතාවය. ඇය ඒ කතාව රසඳුනට කීවාය. ඇය කියන ආකාරයට මේ කතාව මාධ්‍යය වෙත ඇය කියන පළමු හා අවසාන වතාවය.

මාධ්‍යවල පැතිරෙන වීඩියෝව පිළිබඳ සැබෑ කතාව කුමක්දැයි අසමින්ම අප ඇගේ කතාවට සවන් දුන්නෙමු..

“ කටහඬ ලැබෙන්න වික්ටර් ගොළු වෙලා හිටපු කෙනෙක් නෙමෙයි… වික්ටර් රත්නායක කියන්නේ ඕනෑම පරාසයක ගීත දහස් ගණනක් ගායනා කරපු ගායකයෙක්, පහුගිය අවුරුද්ද ඇතුළත ඉතා තදින් රෝගී වෙච්ච නිසා මොළයට ඇති වුණු හානිය නිසා එතුමාට වෙනදා තරම් පහසුවෙන් එක දිගට කතා කරන්න බැරි ස්වභාවයක් තිබ්බා. ඔය කියන විදිහට කවමදාවත් වික්ටර්ට සම්පුර්ණයෙන් කට හඬ නැති වුණෙත් නැහැ. හාස්කමකින් කට හඬ ලැබුණෙත් නැහැ. ඔය දෙකම කියන්නේ විවිධ මාධ්‍ය මිසක් අපි නෙමෙයි. 

ඇත්තටම ඔබ දෙපළ ආගම වෙනස් කළාද?

කෙටියෙන්ම කිව්වොත් උත්තරය ”නැහැ”.

වික්ටර් රත්නායකයන් පෙළුණු අසනීප තත්ත්වය කුමක්ද කියලා කියන්න පුළුවන්ද ?

මාධ්‍යවලින් නම් එක එක ලෙඩ හැදුණා කියලා තිබ්බා. මමත්, වික්ටරුත්, ඔහුගේ වෛද්‍යවරුනුත් දන්න විදිහට නම් එතුමාට වකුගඩු සම්බන්ධ අපහසුතාවක් තමයි මුලින් තිබුණේ. එකට ශල්‍යකර්මයක් කරන්න ඕනේ කියලා වෛද්‍යවරු නිර්දේශ කළා. එයට පහුගිය අප්‍රේල් මාසේ වික්ටර්ව ඉන්දියාවේ ගෙනියන්න හැමදේම ලෑස්ති කරලා තිබ්බේ. නොසිතු විදිහට කොවිඩ් නිසා එයාපෝර්ට් වැහුණා. පස්සේ ලංකාවේදී අවශ්‍ය ශල්‍යකර්මය කළා. ඒත් වයස හෝ මොකක් හරි හේතුවක් නිසා හරි තියටර් එකේදී වික්ටර්ට ස්ට්‍රෝක් එකක් ආවා. තත්ත්වය ගොඩක් සංකීර්ණ වුණා. එකින් එක කියන්න බැරි තරම් දිග රෝග ලක්ෂණ මතු වුණා.

මාස ගානක් පෞද්ගලික රෝහලක වික්ටර් එක්ක නැවතිලා දවල් රෑ නැතිව ඇහැරිලා ඉඳලා වෛද්‍ය උපදෙස් අකුරටම පිළිපැදලා කොහොම හරි එතුමගේ ජීවිතය බේරගත්තා. ඒ ස්ට්‍රෝක් එකෙන් මොළයට ඇති වුණු හානිය නිසා තවමත් විකටර් ඉස්සර හිටපු තත්ත්වෙටම පත් වෙලා නැහැ. නමුත් සුව වෙමින් සිටිනවා.

වික්ටර් හිටපු බැරෑරුම්ම තත්ත්වයෙන් සුව කර ගන්න දෙවිවරු වගේ කැපවෙච්ච දොස්තරවරු පිරිසක් හිටියා.

ඒ තමයි, කායික රෝග විශේෂඥ වෛද්‍ය ප්‍රියංකර ජයවර්ධන, වෛද්‍ය ශර්මිලා විතාන, හදවත් රෝග විශේෂඥ හර්ෂ සමරසිංහ, ස්නායු රෝග විශේෂඥ මහාචාර්ය සමන් ගුණතිලක, වෛද්‍ය නයෝමාලි අමරසිංහ, වෛද්‍ය බන්දු ගුණසේන, වෛද්‍ය අෆ්ලා සාදීක්, වෛද්‍ය අමිල රත්නපාල, අක්මාව පිළිබඳ විශේෂඥ වෛද්‍ය මහාචාර්ය ජගත්, වෛද්‍ය චින්තක අප්පුහාමි සහ වෛද්‍ය දිනේෂ්.
 

මේ දේවගැතිවරයා පිළිබඳ ඔබ හඳුනා ගන්නේ කොහොමද ?

මිනිස්සු දකින්න ඇත්තේ මේ දේවගැතිවරයා ළඟට ගිය එක විතරයි. වික්ටර්ව ගෙදර එක්කන් ආ දවසේ ඉඳන් මේ වෙනකල් ඔහුව සම්පුර්ණයෙන් හොඳ කරගන්න මම නොකරපු දෙයක් නැහැ. නොගිය තැනක් නැහැ. මාස ගානක් බෝධි පුජා තිබ්බා. බාර හාර වුණා. සත්තු නිදහස් කළා. ගොඩක් පන්සල්වලට, පල්ලිවලට ගියා. දේවාලවලටත් ගියා. අපි දන්න කියන අපිට හිතවත් කෙනෙක් කිව්වා මේ කියන පුජකවරයාගේ දේව කන්නලව්ව නිසා එයාට සහනයක් ලැබුණා කියලා. මගේ මහත්තයව සනීප කරගන්න ඕනෑම කැප කිරීමක් කරන්න සූදානම් මම ආයේ හිත හිත මාධ්‍යට කිය කිය රටෙන්ම අවසර ගන්න දෙයක් නැහැ. 

ඉරිදා දවසක උදේම මම වික්ටර් එතනට එක්කන් ගියා. එතන විතරක් නෙමෙයි. හෙට කිව්වොත් කිව්වොත් වෙන තැනක් මම එතනටත් මගේ මහත්තයව එක්කන් යනවා. මට ඕනේ මොන දේ කරලා හරි මගේ මහත්තයට සම්පුර්ණ සුවය ගන්න විතරයි. මිනිස්සුන්ගේ බැණුම්, අපහාස, මොන දෙයක්වත් මට මගේ වික්ටර් තරම් වටින්නේ නැහැ. හැබැයි ඒ සිදුවීම වීඩියෝ කරන බවක්වත් ඒක සමාජ මාධ්‍යවල ප්‍රසිද්ධ කරන බවක්වත් අපි කලින් දැනගෙන හිටියේ නැහැ. ඔය සිදුවීමෙන් පස්සේ මම ඒ ගැන ඒ දේවගැතිවරයාගෙන් ඇහුවම ඔහු ළඟට එන සියලුම රෝගීන් ගේ වීඩියෝ සමාජ මාධ්‍යවල ප්‍රසිද්ධ කරන බවත්, වික්ටර් එතනට ගියපු එක්කෙනක් විතරක් බවත් තමයි ඔහු කිව්වේ.

වික්ටර් රත්නායකයන්ගේ වර්තමාන තත්ත්වය කොහොමද ?

වික්ටර් තාම බෙහෙත් බොනවා. පරීක්ෂණ කරනවා. වයස නිසා සුව වීම ටිකක් පරක්කුයි. ඒත් හිමින් හිමින් සුව වෙනවා. වෛද්‍ය විද්‍යාව අනුව කරන්න පුළුවන් හැමදේම වෛද්‍යවරු කරනවා. අපේ අධ්‍යාත්මික සුවය වෙනුවෙන් කරන්න පුළුවන් හැමදේම මම කරනවා. ඒ වෙනුවෙන් ඕනෑම දෙවි කෙනෙක්, ඕනෑ ආගමික යාගයක්, දේව කන්නලව්වක්, මම කරනවා. ඒක මටයි වික්ටර්ටයි ලොකු මානසික සහනයක්.

මේ වන විට ඔබ දෙපළ අසරණ තත්ත්වයකද ඉන්නේ?

මේ ලෝකේ හැමෝම අසරණයි. මමත් මගේ මහත්තයාගේ රෝගය නිසා අසරණයි. හැබැයි බොහෝ කලාකරුවන් තරම් අසරණ නැහැ. ප්‍රසිද්ධ පෞද්ගලික රෝහලක මාස ගානක් හිටපු නිසා තිබ්බ ඔක්කොම තැන්පත් ධනය හිස් වුණා. අන්තිමට මගේ නමට තිබ්බ කාර් එකත් ලක්ෂ 82 කට විකුණුවා. අදටත් වික්ටර් වෙනුවෙන් ලක්ෂ ගානක් වියදම් වෙනවා. හැබැයි මේ වෙනකම් කිසිම ආයතනයක්වත් සංවිධානයක්වත් ඔය දොස් කියන කවුරුවත් එක සත පහක්වත් අපිට දීලා නැහැ. අපි ඉල්ලලත් නැහැ. වික්ටර්ගෙ රෝගී තත්ත්වය නිසා ගෙදර ආර්ථිකය සම්පුණයෙන්ම මට පැවරුණා. ඒක නිසා මම පොඩියට ව්‍යාපාරයක් විදිහට ලොන්ඩ්‍රිරුරියක් පටන් ගත්තා. ඒකෙන් වික්ටර්වත් බලාගෙන අපි ජීවත් වෙනවා. මට තාම හොඳට හයිය තියනවා… දැනුම උගත්කම තියනවා… ඒ නිසා මගේ මහත්තයා වෙනුවෙන් මම මහන්සි වෙනවා. එතුමාව ජීවත් කරවනවා .

මේ හැමදේකම වගකීමේ විවේචන ඔබට එල්ල වෙනවා ඒ ගැන අදහස මොකක්ද ?

සරලවම කිවුවොත් කිසිම අදහසක් නැහැ. මේ සිද්ධිය ගැන කරන පළමු සහ අවසාන ඉන්ටවිව් එකත් මේක වෙයි. එය කරන්නෙත් මගේ හිතවතියකගේම ඉල්ලීම මත. නැත්තම් මේකයි වුණේ මෙහෙමයි වුණේ කියලා සමාජෙට ඇත්ත තේරුම් කරන්න මට කාලයක් නැහැ. වුවමනාවකුත් නැහැ.

මම වික්ටර්ව කසාද බඳිනකොට එයා හිටපු විදිහයි මම එයාව බලාගන්න විදිහයි අපිව දන්න මිනිස්සු හොඳින්ම දන්නවා. විවිධ මාධ්‍ය ඔස්සේ මට කැත විදිහට අපහාස කළාට අපේ පවුල ළඟින්ම හිටපු ඕවා කියන ලියන මිනිස්සුත් ඒක දන්නවා. වික්ටර් වෙනුවෙන් වචනයෙන් කියන්න බැරි තරම් කැප කිරිම් කළ වෛද්‍යවරු දන්නවා. ඒ කාටත් වැඩිය මගේ හෘදය සාක්ෂිය ඒ ගැන දන්නවා. මේ අවුරුදු ගාණටම මිනිස්සු මට කියපු දේවල් ඔවුන්ටම මිසක් මට අදාළ නැහැ. ආදරය ප්‍රේමය කියලා මිනිස්සු හිතාගෙන ඉන්නේ ඇඳක සිද්ධවෙන ලිංගික ක්‍රියාවක් විතරමයි. ඊට එහා ගියපු ප්‍රේමයක් ගැන අද සමාජය මේ මිනිස්සු දන්නේ නැහැ. ඒක මගේ වැරද්දක් නෙමෙයි නේද..

මම කැමති කෙනාව නීතියෙන් බැන්දා. මැරෙනකම්ම ඔහුව ආදරෙන් බලාගන්නවා. ඒ වෙනුවෙන් ඕන කැප කිරීමක් කරනවා. මිනිස්සුන්ගේ චෝදනා දැක්කහම අැහුණම මම ඒවා බොහොම උපේක්ෂාවෙන් බළා බැහැර කරනවා.

මමත් වික්ටර්රුත් බෞද්ධයන්. හැබැයි මේ වෙලාවේ කවුරු හරි විශ්වාසයෙන් කිව්වොත් මම සතෙකුට වන්දනා කළොත් මහත්තයව හොඳ කරන්න පුළුවන් කියලා වෛද්‍ය උපදෙස් පිළිපදින ගමන්ම මම ඒකත් කරනවා. ඒක බලන් ඉන්න කෙනකුට විහිළුවක් වගේම මිත්‍යා දෘෂ්ටියක් කියලා දකින්න පුළුවන්. තමන් වැඩියෙන්ම ආදරේ කරන කෙනා ලෙඩ වෙලා විඳවනවා බලනවට වැඩිය නම් මට ඒක හොඳයි.

ඒ නිසා මේ කිසිම දේකට මම සමාජයට උත්තර බඳින්නේ නැහැ. එකිනෙකා ඔවුන්ගේ මට්ටමෙන් මේ ගැටලුව දකියි. හැබැයි ඔය කිසිම කෙනකුට මම කිසිම වැරද්දක් කරපු කෙනෙක් නෙමෙයි. ඒ අයගේ පෞද්ගලික ජීවිතවලට බලපෑම් කරන කෙනෙකුත් නෙමෙයි. වැදගත්ම දේ අපි කාගෙන්වත් යැපෙන්නෙ නෑ. හැබැයි මම වික්ටර්ගේ බිරිය විදිහට වික්ර් රත්නායකයන්ට ආදරය කරන සුවහසක් රසිකයන්ට පොරොන්දු වෙනවා. එතුමන්ගේ මධුර ගීත ඉස්සර වගේම රසිකයන් ඉදිරියේ ගායනා කරවන්න මට පුළුවන් හැමදේම අදත් හෙටත් මතුවටත් මම කරනවා..

ඔබතුමාට මේ ගැන කියන්න මොනවහරි තියෙනවද?

මම කියන්න ඕන දේවලුත් සමාජේ ඉන්න මිනිස්සුම කියලනේ, ඉතිං තවත් මොනවද. මම කෙටියෙන්ම කියන්නම්. මම හොඳ සිහියෙන් ඉන්නවා, ඔපරේෂන් එකෙන් පස්සෙ තාම එක දිගට නොකඩවා කථා කරන්න නම් ටිකක් අමාරුයි, මහන්සියක් දැනෙනවා, ඒ ඇරෙන්න මට පියවි සිහිය නැති වෙලාවත්, මම එක තැන් වෙලාවත් නැහැ,. පුදුමය කියන්නෙ, මේ රටේ ලෝකෙ මිනිස්සු නම් කටට එන ඕන දෙයක් කියල හිත සනසගන්න හදන ජාතියක් කියල හරි හිතන්න පුළුවන්, ඒත් මම ජීවිත කාලය පුරා දහසක් උදවු පදවු කරපු මිනිස්සුත් මේ තරම් මිත්‍ර දෝහී වීම ගැන නම් හරිම කලකිරීමක් තියෙන්නෙ.

මේ වසංගත කාලේ, පුළුවන්තරම් අනුන්ගෙ දේවල් හොයන්න කාලේ නාස්ති නොකර, වත්තේ මිරිස් ගහක්, තක්කාලි පැළයක් හරි වවාගෙන තමන්ට යහපතක් වෙන දෙයක් වෙනුවෙන් ඔයාලගෙ වටිනා කාලය යොදාගන්න. අපි සැනසීමෙන් ඉන්නවා. ඒ ගැන වදවෙන්න එපා.

  1. වික්‌රත්නායක මහතා මට පළමුවෙන් මුණගැහෙන්නේ 1977 නුවර ලේක් ක්‍රීඩා සමාජයේ සංගීත සංදර්ශනයකින්, ටික කලක් ඇසුරු කලත් රටින් පිට වෙන්න සිදුවුන නිසා ඇසුරත් නතර උනා, කෙසේ වෙතත් වික්ටර් ඉතාමත් නිහතමානී පුද්ගලයෙක් බිරිඳ මියගිය පසු දරුවන් ගෙන් බිරියකගෙන් කෙරෙන වෙඩ කටයුතු කෙරෙන්නේ නැත. වික්ටර් කාර්ය බහුලව සිටි කෙනෙක්. අපේ රටේ අය බලන්නේ උපහාසාත්මකව. ඔහු වාගේ තනි වෙච්ච කෙනෙක් තමයි එම ජීවිතේ දුක් කම් කටලු දන්නේ. එනිසා ඔහුන්ගේ පුද්ගලික ජීවිතයට එබිකම් නොකර සිටීම තමයි වඩාත් උචිත.

  2. මෙම ලිපිය ඉතාම වැදගත්..මටත් ඒ FB වළ දැකපුදෙයින් ඒ දෙපළ ගැන කළකිරීමක් ඇතිවුනා..දැන් පැහැදිලි යි පළවූ දේවල් නිවරදි ම නොවන බව..ඒත් ලෙඩ රෝග වලට ඔවැනි මිත්‍යාවන් කෙරේ කිසිදු විස්වාසයක් තබන්න එපා

    • මම කැමති කෙනාව නීතියෙන් බැන්දා. මැරෙනකම්ම ඔහුව ආදරෙන් බලාගන්නවා. ඒ වෙනුවෙන් ඕන කැප කිරීමක් කරනවා. මිනිස්සුන්ගේ චෝදනා දැක්කහම අැහුණම මම ඒවා බොහොම උපේක්ෂාවෙන් බළා බැහැර කරනවා. You are a Great Lady



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අවු:16ට වැඩි හැමෝගෙම පෞද්ගලික තොරතුරු ඉන්දියාවට ගන්න පුළුවන් - ප්‍රබල හෙළිදරව්වක්
06:32
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් අධිකරණ අමාත්‍යාංශයට අදාළව 2027 පූර්ව අයවැය සාකච්ඡාව
01:22
Video thumbnail
බුදු අම්මෝ රනිල්ට හීරේට යනකොට තිබ්බ ලෙඩගොඩ - මෙතෙක් හිරගෙවල්වට ගියේ පුංචි මිනිස්සු
05:26
Video thumbnail
ආණ්ඩුව යටින් ලොකු ගේමක් ග#න්න හදන්නේ - අපි මේකට කැමති නෑ
03:05
Video thumbnail
දැන් ගොවියෝ තියෙන මිල ඇති කියනවා..ගොවියොත් එක මතේක නෑනේ
07:41
Video thumbnail
කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට
01:23
Video thumbnail
ගමේ ඉපදිච්ච එවුන්ට ගඟට එන්න අවසර නෑ
01:23
Video thumbnail
පොලිසියට අල්ලස් දෙන්න ගිය තරුණයාට වැඩ වැරදුණු හැටි
00:49
Video thumbnail
උත්තරීතර පාර්ලිමේන්තු ආසනයේ ඉදගෙන නි ඇමති දැම්ම සෙල්ලම
00:33
Video thumbnail
චාමික කරුණාරත්නට එරෙහි නඩුවට අද ලැබුණු තීන්දුව මෙන්න
00:36