සංවිධානාත්මක අපරාධවලින් ලැබෙන මුදල් විශුද්ධිකරණය සිදුකළ විදේශිකයින් කල්ලියක් සිංගප්පූරු ආරක්ෂක අංශ විසින් සිදුකළ මෙහෙයුමක දී පසුගිය දා (16) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සිංගප්පූරු පොලිසිය පැවසුවේ වැටලීමේ දී ඩොලර් බිලියන එකක පමණ වත්කම් මෙම සැකකරුවන් සන්තකයේ තිබී සොයාගත් බවයි.
මෙම වැටලීම සඳහා නිලධාරීන් 400ක් එක්ව සිට ඇති අතර, එහිදී විදේශිකයන් 10 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
මෙලෙස අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් චීනය, කාම්බෝජය, සයිප්‍රසය සහ වනුවාටු යන රටවල පුරවැසියන් වන අතර, ඔවුන් අතර එක් කාන්තාවක් ද වනවා.
මොවුන් සන්තකයේ තිබී අපරාධවලින් ලැබෙන මුදල් විශුද්ධිකරණයෙන් උපයාගත් වත්කම් අතර, සිංගප්පූරු ඩොලර් මිලියන 110ක් සහිත බැංකු ගිණුම්, වාහන 50ක්, සිංගප්පූරු ඩොලර් මිලියන 23කට වැඩි මුදල් තොගයක්, ඇමරිකානු ඩොලර් තොගයක්, සුඛෝපභෝගී අත්බෑග් සහ ඔරලෝසු සිය ගණනක්, ස්වර්ණාභරණ තොගයක් සහ රන් කැබලි ද වනවා.
සිංගප්පූරු පොලිස් බලකායේ වාණිජ කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ ඩේවිඩ් චු පැවසුවේ අපරාධකරුවන්ට හෝ ඔවුන්ගේ පවුල්වලට ආරක්ෂිත තෝතැන්නක් ලෙස භාවිත කිරීම සහ බැංකු පහසුකම් සැපයීම සඳහා සිංගප්පූරුවේ ඉඩක් නොලැබෙන බවයි.